loader image
Select Page
අලුත් අවුරුද්දේ අසරණ පවුල් වලට අවුරුදු අරන් ගිය සෙනෙහෙබර ෆේස්බුක් මිතුරා (සමාජසත්කාර අවුරුදු නෑගම් 2019)

අලුත් අවුරුද්දේ අසරණ පවුල් වලට අවුරුදු අරන් ගිය සෙනෙහෙබර ෆේස්බුක් මිතුරා (සමාජසත්කාර අවුරුදු නෑගම් 2019)

අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල අපගේ සෙනෙහසේ චාරිකාවේදී අප මැදවච්චිය ප්‍රදේශයේ අසරණ අම්මාවරුන්/පියවරුන්, දරුවන් ඉන්නා පවුල් සොයා ගොස් ඔවුන්ට වියළි ආහාර මලු පරිත්‍යාග කරා. මේ අම්මා හම්බවුනේ ඒ ගමක අපි සංචාරය කරනවිට.

මෙම ගම්මාන අති දුෂ්කර මෙන්ම නිරතුරුවම නියගය නිසා පීඩා විදින ගම්මාන. එවන් පරිසරයක ගිනි කාශ්ඨකේ මේ මව්වරු තමන්ගේ කුසගින්න, තමන්ගේ දරුවන්ගේ කුසගිනි නිවා ගන්න එදා වේල වෙනුවෙන් අපරිමිත වීර්යයක් දරනවා. මෙවන් දුක් විදින අම්මාවරුන්ට සහ දරුවන්ට එදිනෙදා ආහාර වේලකට අත්‍යාවශ්‍ය සියල්ල සමග ඔවුන් නොසිතූ මොහොතක දෝතට ලද වියළි ආහාර මල්ල ඒ අසරණ සිත් සතුටින් පිරවූවා අහිංසක දෑස් කදුළින් තෙත් කරවන්නට වූවා.

මේ පිංකම සඳහා දායකත්වය දැක්වූයේ Dilan Poulis මල්ලී.

ඔබ මේ සිදු කළා වූ කුසලයේ බලයෙන් ඔබේ සහ ඔබේ පවුලේ සියලුම දෙනාගේ සියලු දුක් රෝග පීඩා දියෙහි ඇදි ඉරක් සේ පහව යේවා… සිතේ සතුට සැනසුම නිරතුරුවම රැදේවා…. නීරෝගී ලාභයත් දීර්ඝායුෂත් ලැබේවා…

සුභ අලුත් අවුරුද්දක් !

Donor : Dilan Poulis
Project ID : 2019-APR-0109

උපන්දිනය වෙනුවෙන් මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කල මිතුරිය

උපන්දිනය වෙනුවෙන් මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කල මිතුරිය

Lakma Ranasinghe නංගිගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ පිංකමක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා ඇය පිංකම් කිහිපයක් සිදුකලා. ඒ අතර මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කිරීමක්ද සිදුකලා.

මේ මවට ඇස් වල පෙනීමේ අඩුවක් කලක පටන්ම තිබුණත් කණ්නාඩි දෙකක් හදාගන්න යන වියදම දරාගන්න බැහැ. වයසට යන ඕනම කෙනෙක්ගෙ ටිකෙන් ටික ඇස් පෙනීම දුර්වල වෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. ඒ කාලෙට ඉතින් බණ පොතක්වත් කියවන්න නම් කණ්නාඩි දෙකක් ඕනමයි. ඒත් මේ වගේ අසරණ අම්මලාට ඒකට අවස්ථාවක් නැහැ. ඒ අයගේ දරුවන්ට උනත් කණ්නාඩි දෙකකට යන වියදම දරන්න තරම් ආදායමක් නැහැ. ඉතින් මේ අම්මලා ඇහෙන බණ පදයක් අහගන්නවා ඇරෙන්න පොත් බලන්න යන්නෙ නෑ. හදිසියේ පොඩි දෙයක් හරි කියවන්න ඕන උනොත් ඉතින් කාගෙ හරි පිහිටක් ඕන වෙනවා අකුරු පේන්නෙ නැති නිසා. ඒත් දැන් මේ අම්මට ඒ ප්‍රශ්නය නැහැ. මන්ද අපි මේ අම්මට පෙනීම අරන් දුන්නා.

ඒ ලැබුන පෙනීමෙන් මේ අම්මලාට ධර්මය කියවන්න දකින්න ලැබෙන එකම බොහෝම උතුම් පුන්‍යකර්මයක්. ඒ ජීවිත වලට ආලෝකය දුන්නා හා සමානයි.

මේ ගම්වල ඉන්න අම්මලාට කණ්නාඩියක වැඩි වටිනාකම තියෙන්නේ ගෙදර දොරේ සහ ගොවිතැන්, කුළී වැඩ කරගන්නකොටයි. ඉතිං මේ අම්මා පිං දුන්නේ ඒ ගැන කියලා.

ඒ වගේම සරමක් පරිත්‍යාග කිරීම ගැන මේ තාත්තත් නොසෑහෙන පිං දුන්නා. මන්ද දරුවෙක් වුනත් මේ වැඩිහිටියන්ට අලුත් ඇඳුමක් අරන් දෙන්නේ කලාතුරකින්.

මේ සතුට ඔවුන් වෙත ළඟා කරදී උපන්දිනය සමරන ඔබ විසින් මේ රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබටත් ඔබේ දෙමාපියන්ටත් පවුලේ සෑම සියළු දෙනාටත් සතුට සැනසුම නිරතුරුවම උදා වේවා… නිදුක් නීරෝගී සුවය ලැබේවා… කරන කියන රැකීරක්ෂා අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ල දිනෙන් දින වර්ධනය වේවා…. සිතන පතන යම් පැතුමක් කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මෙසේ සසර පුරාවටම බොහෝ කුසල් රැස් කර ගැනීමට හැකියාව ලැබේවා… මේ සිදු කරගත්තාවූ කුසලය සසර කෙළවර නිවන් සුව පිණිසද හේතු වාසනා වේවා….

සුභ උපන්දිනයක් නංගී…

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල මිතුරෝ

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල මිතුරෝ

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Waruna Masinghe අයියත් ඔහුගේ මිතුරන් වන Ranga Kalupahana සහ Udayanga Vitharana (Batch mates from engineering faculty මොරටුව) එකතුව පිංකමක් කලා. ඒ තමයි මේ ආබාධිත තාත්තාට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම.

වයස 68ක් වූ මේ තාත්තට අංශභාගය හැදිලා. මානසික ආබාධයකුත් තියේ. ගොඩක් අසරණයි. ඉන්නේ පොඩි පැලක. මේ දවස් වල ඒකේ ඉන්න බැරි නිසා ලඟ ගෙදරක ඉන්නේ දවල්ට. ඒ අම්මත්, තාත්තත් නොසෑහෙන්න පිං දුන්නා. ඒ හැම ආශිර්වාදයකම හිමිකරුවන් ඔබ තිදෙනායි.

වරුණ අයියා මේ පරිත්‍යාගය කලේ වාද්දුව මාවල පදින්චිව සිටි කරොලිස් මහතාට පින් පිණිස. මේ පිං බලෙන් ඔහු දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත් හේතු වාසනා වේවා.

අසරණ වී සිටින අයෙක් වෙනුවෙන් රෝදපුටුවක් පරිත්‍යාග කරමින් මේ රැස් කරගත්තාවූ කුසලයේ ආනිසංසයන් ඔබ තිදෙනාගේ දෙමාපියන්ටත් පවුලේ අනෙක් සියලුම දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම ඔබ සැමගේ ජීවිත වලට ලැබේවා…. කරන කියන කටයුතු සියල්ලක්මත් පතන පැතුමන් සියල්ලක්මත් ඒ අයුරින්ම ඉටු වේවා….

මේ පිංකමට ශ්‍රම දායකත්වය දැක්වූ ලහිරු මල්ලීටත් බොහොමත්ම පිං. රෝද පුටුව ටිකක් දුර උස්සගෙන ගිහින් හරිම මහන්සියි. ඊට පස්සේ සිසිර අයියාට දුන්නා ගෙනියන්න කියලා.

Donor : Waruna Masinghe, Ranga Kalupahana, Udayanga Vitharana
Project ID : 2019-MAR-0095

7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35

7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35

පාවහන් නිපැයුම් වැඩපල පිළිබඳව වැඩිදුරටත්….

මේ පවුල් 9 සිටින්නේ මැදවච්චිය පාඩිග්ගම සහ ඇටවීරගොල්ලෑව කියන ගම් වල. ගොඩක් අසරණ පවුල්. බොහොමයක් පවුල් වල දරුවන් 3 දෙනෙක් පමණ සිටිනවා. කාත් කවුරුවත් නැති අසරණ අයත් සිටිනවා. ඔවුන් එදාවේල සොයාගන්නේ බොහොමත්ම අමාරුවෙන්.

ඉතිං අපි වෙනදා මෙන් ඔවුන්ට සති කිහිපයකට වියළි ආහාර නොදී අපි කල්පනා කලා ඔවුන්ට දිරියෙන් නැගී සිටින්නට සහයක් වෙන්නේ කොහොමද කියලා. එක් එක් අයට වෙන වෙනම ස්වයංරැකියාවන් ලබාදෙන්න ගියොත් යන පිරිවැය වැඩියි. ඒ නිසා සමාජසත්කාර.lk මඟින් 2019 වර්ෂයේ ආරම්භ කල ස්වයංරැකියා.lk ව්‍යාපෘතිය හරහා අපි තීරණය කලා ඔවුන්ට ස්වයංරැකියාවක් සිදුකිරීමට ස්වයංරැකියා කේන්ද්‍රයක් ආරම්භ කිරීමට. ඒ සඳහා අපට සමාජසත්කාර කණ්ඩායමේ මැදවච්චිය සම්බන්ධීකරණ කටයුතු වලට සහය වෙන සිසිර මහතා ඔහුගේ නිවසේ වෙනම කොටසක් අපට ලබාදෙන්න කැමැත්ත ප්‍රකාශ කලා. මන්ද අපිට මේ ස්වයංරැකියා සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ අපගේ අධීක්ෂණයකින් තොරව වෙනත් තැනක තැබීමට අපහසු නිසා. අපිට සති 6ක පමණ කාලයක් ගියා අවශ්‍ය යන්ත්‍ර නිර්මාණය කරගැනීමට සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සූදානම් කරගැනීමට.

ප්‍රථමයෙන් අපි ජනවාරි මාසයේ රබර් සෙරෙප්පු නිෂ්පාදනය කලහැකි මැෂිමක් නිර්මාණය කරන තැනක් හරහා මැෂිමක් නිර්මාණය කරගත්තා. සාමාන්‍යයෙන් වෙළඳපොල තිබෙන හයිඩ්‍රොලික් රබර් සෙරෙප්පු මැෂිමක් රු.300,000 – 600,000 අතර ප්‍රමාණයක් වෙනවා. එහිදී රබර් සෙරෙප්පු කැපීමට එක් මැෂිමකුත්, හිල් විදීමට (රවුටර් කිරීමට) තව මැෂිමකුත් පටි දැමීමට තවත් යන්ත්‍රයකුත් අවශ්‍ය වෙනවා. නමුත් මේ මැෂිම ඒ සියල්ල එකතුව නිර්මාණය කල එකක්. අපට මේ සඳහා වියදම් වුනේ රු.98,000ක මුදලක්.

රබර් සෙරෙප්පු නිර්මාණය පිළිබඳව මා ඉගෙන ගත්තේ යූටියුබ් හරහා. ඉන්පසු මේ මැෂින් එක සහ සෙරෙප්පු සඳහා අවශ්‍ය රබර් ෂීට් කොළඹ සිට සමාජසත්කාර තුල්හිරිය කාර්යාලයට ගෙනවිත් සති 3ක කාලයක් රබර් සෙරෙප්පු නිෂ්පාදනය පිළිබඳව මාත් චතුර මල්ලිත් පුහුණු වුණා. ෆේස්බුක් මිතුරන් කිහිප දෙනෙක්ද පැමිණ අපට සහය දැක්වූවා. සාමාන්‍යයෙන් දිනකට රබර් සෙරෙප්පු 400ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් අප දෙදෙනාගේ දෙනික නිෂ්පාදනය වූයේ සෙරෙප්පු කුට්ටම් 300ක් පමණයි. මන්ද අප ඒ කටයුතු සිදුකලේ අනෙකුත් කටයුතු වලද නිරත වෙන ගමන්.

අපගේ පුහුණුවෙන් පසු අප අවශ්‍ය තරම් දැනුම ලබාගත්තා තවත් කෙනෙක් පුහුණු කිරීමට තරම්. ඉන්පසු අපි මැෂින් එක, ඒ සඳහා නිර්මාණය කල මේසය සහ සීට්, පටි,කටර් ඇතුළු අනෙකුත් දේවල්ද මැදවච්චියට රැගෙන ගියා. සතියක කාලයක් ගියා ස්වයංරැකියාව කේන්ද්‍රය තුළ මැෂින් සවිකර වැඩකටයුතු ආරම්භ කිරීමට. ඉන්පසු මමත්, සමාජසත්කාර කණ්ඩායමේ දෙව්ශා මිතුරිය සහ ලහිරු මල්ලිත් පවුල් 9ම කැඳවා ඔවුන්ට තනි තනිව සෙරෙප්පු නිෂ්පාදනය කිරීමට පුහුණු කලා. සම්පූර්ණ දිනක්ම ගතවුණා පුහුණුව සඳහා.

පුහුණුවෙන් පසු සෑම පවුලකටම සෙරෙප්පු 150- 200ක් (ඔවුන් භාවිතා කරන කටර් එකෙහි ප්‍රමාණය අනුව) නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පරිත්‍යාග කලා. ඔවුන්ට එමගින් ලැබෙන ශුද්ධ ආදායම/ලාභය රු.20,000-26,000ක් වනවා. අපගේ අරමුණ වූයේ ඔවුන්ම මහන්සි වී උපයාගන්නා ඒ මුදලින් සහ අප අදාල ප්‍රදේශයේ බැංකු සමඟ සාකච්ඡා කල ඔවුන්ට ලබාදීමට බලාපොරොත්තු වන කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා ණය මුදල මගින් මේ ව්‍යාපාරය දිගටම සිදුකරගෙන යාමට සහය දීමයි.

සෙරෙප්පු නිෂ්පාදනය සඳහා විවිධ ප්‍රමාණවලින් ඔවුන්ට කටර්ද නිර්මාණය කර දුන්නා. ඒ අනුව ගැහැණු අය සඳහා 4-8 දක්වා ප්‍රමාණ 5කින්ද, පිරිමි අය සඳහා 5-10 දක්වා ප්‍රමාණ 6කින්ද, දරුවන් සඳහා 15-17-19-21 යන ප්‍රමාණ 4න්ද කටර් පරිත්‍යාග කලා. රබර් ෂීට් එකක් කැපීමේදී විවිධ ප්‍රමාණ වලින් කැපීමෙන් වැඩි සෙරෙප්පු යුගලයන් ප්‍රමාණයක් කපාගත හැක. ඉතිරිවන කොටස් වලින් කුඩා දරුවන්ගේ සෙරෙප්පු කැපිය හැක.

අප ඔවුන්ට පරිත්‍යාග කල ෂීට් සහ සෙරෙප්පු පටි නැවත ඔවුන්ට ගෙන්වා ගැනීමට වන්නේ කොළඹින්. ඉතිං සියලු දෙනාම එකතු වී එකවර විශාල ප්‍රමාණයක් මිළදී නොගත්තහොත් ඔවුන්ට එක් සෙරෙප්පුවක් සඳහා යන පිරිවැය වැඩි වෙනවා. අමුද්‍රව්‍ය මිළදී ගැනීමට කොළඹ ඇති ස්ථානද අපි ඔවුන්ට අපගේ සම්බන්ධීකාරක හරහා සම්බන්ධ කර දුන්නා.

රබර් ෂීට් සහ පටි පවුල් 9ටම පරිත්‍යාග කල අතර මැෂින් එක කාලසටහනකට අනුව ඔවුන්ට භාවිතා කිරීමට අවස්ථාව සලසා දුන්නා. පළවෙනි පවුලට සඳුදා දිනයේ සෙරෙප්පු නිෂ්පාදනය කලහැකි අතර, දෙවෙනි, තෙවෙනි දිනවල පිළිවෙලින් ඊලඟ පවුල් වලට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට අවශ්‍යයිනම් එකතුව වුනත් කටයුතු කිරීමට අප නිදහස ලබාදුන්නා. මන්ද සෙරෙප්පු නිෂ්පාදනයේදී මූලික කටයුතු 3ක් තිබෙනවා. සෙරෙප්පුව කැපීම, පටිය දැමීමට හිල් විදීම සහ පටිය දැමීම. මෙය 3 දෙනෙක් එකතුව සිදුකලානම් ඉක්මනින් අවසන් කල හැකියි. අපි මැෂින් එකේ කොටස් 3 ගලවා වෙන වෙනම සවිකලා පහසුවට. නැතිනම් එක් කාර්යයක් අවසන් වූ පසුයි ඊලඟ කාර්යය සිදු කරන්න වෙන්නේ. අප මැෂින් එක වෙනම සවි කල නිසා කාර්යක්ෂමතාව සහ දෛනික නිෂ්පාදනය වැඩිවෙනවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති. හැමෝම නොසෑහෙන්න පිං දුන්නා.

පුහුණුව දිනයේදී පවුල් කිහිපයකට සම්බන්ධ වෙන්න නොහැකිවුණා. ඔවුන් සඳහා පුහුණුව අපගේ සම්බන්ධීකාරක විසින් පසුව ලබාදුන්නේ නැවත පුහුණුව සඳහා යෑමට සිදුවුවහොත් විශාල වියදමක් යන බැවිනි.

මතු සම්බන්ධයි …

ඔබටද රබර් සෙරෙප්පු නිෂ්පාදනය සඳහා පුහුණුව හෝ මැෂින් ලබාගැනීමට අවශ්‍යයි නම් 0703366488 හරහා ස්වයංරැකියා.lk අමතන්න. පුහුණුව නොමිලයේ ලබාදෙන්න අප සූදානම්. ඒ සඳහා වෙළඳ පොළද නිර්මාණය කරදෙන්න අප සූදානම්.

පාවහන් නිපැයුම් වැඩපල (ස්වයංරැකියා Hub – www.swayanrakiya.lk)

 

මේ ඉන්නේ නාලනී කුමුදු (32), කේ. කීර්ති දිසානායක (42), තරුෂි දිව්‍යාංජලී (16), රන්දිකා වනමලී (12), ඉමල්ෂා හසංජලී (06) ඔවුන් ඉන්නේ මැදවච්චිය ඇටවීරගොල්ලෑව කියන ගමේ. ගොඩක් අසරණ පවුලක්. මේ දරුවන්ගේ සීයයි, ආච්චියිත් මේ ගෙදරමයි ජීවත් වෙන්නේ. අම්මයි තාත්තයි බොහොම අමාරුවෙන් තමයි පවුලත් නඩත්තු කරමින් මේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන්නේ.

අපි ඔවුන්ට පිහිටක් වෙන්න හිතුවා. කිහිප වරක් අපි ඔවුන්ට වියළි ආහාර සහ පාසල් උපකරණ පරිත්‍යාග කරලා තියේ. මෙවර අපි හිතුවා ස්ථීර විසඳුමක් ලබාදෙන්න.

සමාජසත්කාර කණ්ඩායම විසින් 2019 පෙබරවාරි මස ආරම්භ කල මැදවච්චිය පාවහන් නිපැයුම් වැඩපලෙහි (ස්වයංරැකියා HUB) ඔවුන්ට ස්වයංරැකියාවක් ලබාදුන්නා.

අපි දරුවන්ගේ අම්මට සෙරෙප්පු නිෂ්පාදනය පිළිබඳව පුහුණුවක් ලබාදුන්නා. ඒ වගේම අවශ්‍ය අමුද්‍රව්‍යද ලබාදුන්නා. ඇය නොසෑහෙන්න පිං දුන්නා. දරුවෝ ගොඩක් සතුටු වුනා.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර), දිනිති (3 වසර). අන්ත අසරණ පවුලක්. කුළී වැඩ කරලා ජීවත්වෙන්නේ. දරුවන්ගේ අම්මා සමහර දවස් වලට බයිට් කම්පැනියක වැඩ කරනවා. ඒත් දරුවන්ව බලාගන්න ඕන නිසා අම්මා ඒ රස්සාවට යන එක නවත්වල තියෙන්නේ. අපි ඒ අම්මව මුණගැහුණ වෙලාවේ අම්මා කිව්වේ ගෙදර ඉඳන් මොනවා හරි ස්වයංරැකියාවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියලා. ඉතිං අපි මේ පවුලට මහන මැෂිමක් පරිත්‍යාග කලා.

අපි මේ පවුල බලන්න ගියේ මීට සති කිහිපයකට පෙරයි. මහන මැෂිමක් ලබාදුන්නොත් ස්වයංරැකියාවක් කරන්න පුලුවන්ද කියලා අපි ප්‍රථමයෙන් විමසුවා. ඇය ඒ පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කලා. අපි ඔවුන්ට මහන මැෂිම ලබාදෙන්න දෙවරක් ගියත් ඔවුන් නිවසේ සිටියේ නැහැ. දුරකතන නොමැති නිසා සම්බන්ධ කරගන්න ගොඩක් අපහසුයි.

මොවුන් ඉන්නේ තනි කාමරයේ පුංචි පැලක. ඇත්තෙන්ම මේ මැෂින් එක ගේ ඇතුලට දැම්මට පස්සේ ඔවුන්ට මේ නිවස ඇතුලේ එහෙට මෙහෙට යන්නවත් ඉඩ නැති වෙනවා. පසුගිය සතියේ අපි ඔවුන්ට මෙලෙස ජුකී මැෂිමක් පරිත්‍යාග කලා.

ප්‍රථමයෙන්ම ඇය පාපිසි, යට සායවල්, ගවුම් ආදිය මැසීමට බලාපොරොත්තු වනවා. බඩල්කුඹුර, බුත්තල, ඔක්කම්පිටිය පොළවල් වල ඇයට ඒවා විකීමට හැකි බව ඇය පැවසුවා.

මේ ජුකී මැෂින් එක ක්‍රියා කරන්නේ විදුලියෙන් වුනත් දැන් ඇය මුහුණ පාන ලොකුම ප්‍රශ්නය වන්නේ ඇගේ නිවසට විදුලිය නොමැති විමයි. දැනට ඇය විදුලිය ලබාගන්නේ අසල නිවසකින් කුඩා වයර් එකක් මාර්ගයෙන්. ඇය කෙසේ හෝ මහන මැෂිම වෙනුවෙන් විදුලිය ලබාගන්නට බලාපොරොත්තු වන බව අපට පැවසුවා.

ඇයත් දරුවෝ දෙදෙනාත් නොසෑහෙන්න සතුටු වුණා. මේ පරිත්‍යාග සිදුකල මිතුරාට ඇය බෙහෙවින් පිං දුන්නා. අපි ඔහුගේ ඡායාරූපයක්ද ඔවුන්ට පෙන්වූවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…