by Danesh Edirisooriya | Aug 28, 2017 | Pregnant Mother
දුමිනි අක්කා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. විශේෂ හේතුවක්නම් නැහැ. ඇය මීට කලිනුත් මෙවැනි පිංකම් කලා. ඇයට අවශ්‍යවුනේ උදව් අවැසි කෙනෙක්ට උදව් කරලා සතුටු වෙන්න. ඉතිං පසුගියදා බුත්තල සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 5 දෙනා වෙනුවෙන් අපි දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. ඔයාගේ ෆොටෝ එකකුත් මං පෙන්නුවා. ගොඩක් පිංදුන්නා, ඔයාට ආශිර්වාද කලා.
ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබට ඉදිරි අනාගතයේදී නීරෝගී වාසනාවන්ත දරුවන් මෙලොවට බිහිකිරීමට හැකිවේවා. ඔබගේ ජීවිතය සාර්ථක වේවා. අපල උපද්‍රව දුරු වේවා. ඔබගේ රැකියා ජීවිතය ඇතුලු සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා. තෙරුවණ් සරණයි.
by Danesh Edirisooriya | Aug 2, 2017 | Disabled Animal
පැටී දැන් අපි හැමෝගෙම සුරතලා වෙලා. පැටීව දැකපු දවසේ ඉඳන් එයා වෙනුවෙන්
ෆේස්බුක් එකේ අයියලා අක්කලා නැන්දලා මාමලා ගොඩක් ඉදිරිපත් උනා දෙපා අහිමි උන මේ අසරණ පැටීට සරණක් වෙන්න. අද ඒ හැමෝගෙම සහයෝගෙන් පැටී ඔන්න ඇවිදිනවා…
පෙර භවයන්හි රැස් කරගත් කුසලා නිසංසයන්ගේ බලයෙන් අප හැම මිනිස් ආත්මභාවයක් ලැබූවද පැටී ට එය නොහැකි වන්නට ඇත්තේ මොනයම් හෝ අකුසලයක් නිසා වන්නට පුළුවන්. අපිට අපේ දුක වේදනාව කියන්නට හැකි උනාට පැටීට ජීවිත කාලෙම එයාගෙ දුක කියන්න හැකියාවක් නැහැ. පසුපස දෙපා අහිමිව බොහොම අමාරුවෙන් ඉදිරිපස දෙපා වලින් ඉදිරියට ඇදි ඇදී ගමන් කරන්නට වෙන එක කොයිතරම් අපහසු දෙයක්ද. ඒ වේදනාව වචනින් කියලා තේරුම් කරන්න පැටීට බැරි උනත් අපේ ෆේස්බුක් මිතුරන්ට පැටීගේ ඇස් වලින් එයාගෙ වේදනාව තේරුම් ගන්න පුළුවන් උනා.
පැටීගේ දුක තමන්ගේ දුකක් කරගත්ත, අසරණ උන පැටීව තමන්ගේම දරුවෙක් කරගත්ත බොහෝමත්ම කරුණාබර හදවත් වල උතුරා ගිය සෙනෙහස නිසාවෙන් අද පැටීටත් අපි ඔන්න රෝද පුටුවක් අරන් දුන්නා. මිනිසුන් වෙනුවෙන් මොනතරම් නම් රෝද පුටු නිර්මාණය කරනවාද, ඒ අවශ්යතාවය කියන්න පුළුවන් අපේම මිනිසුන් වෙනුවෙන්. නමුත් අද අපි හැමෝම එකතු වෙලා මේ පුංචි රෝද පුටුව නිර්මාණය කළේ අවශ්යතාව කියාගන්න බැරි කෙනෙක් වෙනුවෙන්.
අපි මේ රෝද පුටුව පැටීට සවි කළාම ඒක එයාට අමුතු දෙයක් උනා. මුලින්ම වේගෙන් දුවගෙන ගියා. ගලවගන්න උත්සාහ කලා. හුරු නැති නිසා වෙන්න ඇති. හෙළවෙන්නෙ වත් නැතුව ඊට පස්සේ අඬන්න වගේ අපි දිහා බලන් හිටියා. ටික වෙලාවකින් පොඩ්ඩ පොඩ්ඩ ඇවිද්දා. ටික දවසක් යද්දි හුරු වේවි. තාම හුරු ඉස්සර වගේ අමාරුවෙන් ඇවිදලානෙ. ටික දවසකින් පහසුවෙන් ඇවිදින විදිහ පැටීට තේරේවි.
පැටී කියන්නෙ මහ මඟ අසරණ වෙලා තනිවම හැදුන කෙනෙක්. බල්ලෙක්ගේ සපාකෑමකට ලක් වෙලා තමයි පැටීට එයාගෙ දෙපා පණ නැති වුනේ. දෙපා පණ නැතිව අසරණ උන පැටී හිටියෙ කාත් කවුරුවත් පිහිටට නැතිවයි. අපේ කාට හරි දෙපා අහිමි වෙලා හෝ එක්තැන් වෙලා හෝ මහමඟට වැටුනොත් කන්න බොන්නවත් දෙයක් නැතිව පිහිට වෙන්න කෙනෙක්වත් නැති උනොත් අපි මොනතරම් අසරණ වෙනවද? ඒ වගේ අන්ත අසරණ තත්වයක මහමඟ හිටපු පැටී දැන් අපේ වෙලා. එයාට දැන් දුවන්න පනින්න සෙල්ලම් කරන්න පුළුවන්. ඒ එක්කම එදා කන්න බොන්න නැතුව බඩගින්නේ දුක් විඳපු පැටීට අද ගෙදරක් හම්බෙලා… ආදරය සෙනෙහස ලැබිලා… ආදරණීය පවුලක් මුණ ගැහිලා… මේ හැමදේම ලැබුනේ ඔයාලා නිසයි.
මේක අපි හැමෝම සාමූහිකව කරපු සෙනෙහස පිරුණ බොහොම සුන්දර ව්යාපෘතියක්. අපේ පැටීට ආයෙත් සතුට ගේන්න ෆේස්බුක් යාළුවෝ හැමෝම එකතුවෙලා මේ සිදු කරා වූ කුසලයේ ආනුභාවයෙන් කිසිවෙකු හට කිසිදු ආකාරයක කාය චිත්ත පීඩාවක් නොම වේවා… නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. පැටී වෙනුවෙන් ආදරය සෙනෙහස දයාව දැක්වූ පිනෙන් ඔබ හැමටත් ඔබ හැම දෙනාගේම පවුල් වල සෑම දෙනාටනත් ආදරය සතුට සෙනෙහස රැකවරණය නිරතුරුවම ලැබෙන වාසනාවන්ත දිවියක් උදා වේවා… කරන කියන කටයුතු සියල්ලක්මද පතන පැතුම් සියල්ලක්මද ඒ අයුරින්ම ඉටු වේවා…. මතු හැම භවයකදීම අප්රමාණ වූ කුසල් රැස් කරගන්නටත්, නිර්වාණාවබෝධය පිණිසත් මේ සිදු කරගත්තාවූ කුසලය හේතු වේවා…
“බලාගන්න කෙනෙක් නැතුව අසරණ උන මං වෙනුවෙන් පිහිට උන ඔයාලා හැමෝටම ගොඩාක් පිං. අපි වගේ දුක් විඳින අය ඕනෑතරම් ඉන්නවා දුක කියන්න වරම් නෑ අපිට. නැන්දේ මාමේ ඒ අයටත් මට වගේම හැකි නම් පිහිට වෙන්න. අපි හැමෝටම ආදරය සෙනෙහස රැකවරණය ඕන. අපි වගේ තව අය ගෙවල් වල ආදරෙන් හැදෙද්දි මහ පාර උරුම උන අපිව ඒ දුකින් මුදව ගන්න එන ඔයාලා හැමෝම අපිට පේන්නෙ දෙවි දේවතාවුන් වගේ. ”
– මම ඔයාලගේ පුංචි පැටී…
by Danesh Edirisooriya | Aug 2, 2017 | Disabled Person
බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට පැමිණියා. එදින ඇගේ විශේෂ ඉල්ලීමක් උනේ ඈ රැගෙන ආ අත්වාරු ගම්වල සිටින අසරණ වියපත් වැඩිහිටියන්ට පරිත්‍යාග කරන එක. එම අත්වාරු තවත් සුවිශේෂී ඒවා උනේ එහි දිග ප්‍රමාණය වැඩිහිටියන්ගේ උසට සරිලන පරිදි වෙනස් කරගැනීමට හැකි වීමයි.
මේ අත්වාරු රැගෙන සෙනෙහසේ චාරිකාව යන අතරමගදී අපට හමුවුනා බොහෝම අමාරුවෙන් දිරාපත් උන කෝටුවක ආධාරයෙන් ඇවිදින අත්තම්මා කෙනෙක්ව. මේ අත්තම්මගේ බර දරන් හිටපු කෝටුව තරමක් ඇද වී නැමී තිබුනේ අත්තම්මාගේ හිතේ බරත් එකතු වෙලා නිසා වෙන්න ඕන.
අත්තම්මා ළඟට ගිය අපි පරණ කෝටුව වෙනුවට අළුත් අත්වාරුව දුන්නම ඒ මූණේ පිරිලා තිබුනේ හරිම සිරියාවන්ත හිනාවක්. උසට ගැලපෙන විදිහට සකස් කරලා දුන්නම අත්තම්මා හරි ආසාවෙන් ඇවිදලා බැලුවේ. අත්වාරුව අතට අරන් ටිකක් ඇවිදලා අත්තම්මා අපිට කිව්වෙ “දැන් මට බය නෑ මේක කැඩෙයි කියලා, බයක් නැතුව ඇවිදින්න පුළුවනි” කියලා.
දර කෝටුවකින් වාරුව ගත්ත මේ අම්මට සවි ශක්තිමත් වාරුවක් ලබා දී මේ රැස් කරගත්තා වූ කුසලය නිර්වාණාවබෝධය පිණිස තවත් එක් වාරුවක් රුකුලක්ම වේවා…. ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටමත් කාය චිත්ත පීඩාවක් නොවේවා…. සියළු සිතුම් පැතුම් මෙන්ම කරන කියන කටයුතු සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන් උදා වේවා…. තව තවත් පින්දහම් සිදු කරන්නට සිත් පහළ වේවා…. ඊට අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුව නිරතුරුවම ලැබේවා….