loader image
Select Page
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා.

අද දිනයේ උන්වහන්සේ වෙනුවෙන් රුධිරය ලබාදෙන්න ෆේස්බුක් මිතුරු මිතුරියන් 4 දෙනෙක්ට ආරාධනා කලා. ඔවුන් උදෑසන 9.30 වන විට රෝහලට පැමිණියා.

Gangani Wanigasekara නංගීටත්, Gayan Shameera Gunasekara අයියා, Aravinda Rathnayake අයියා සහ Manjushri Illangaweera අයියාටත් බොහොම පිං කෙටි දැනුම් දීමකින් පැමිණීම සම්බන්ධව. ඔබ මේ සිදුකලා වූ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටම හේතුවාසනා වේවා. ඒ වගේම අපි රුධිරය අවශ්‍ය බව ෆේස්බුක් පෝස්ට් එකකින් පැවසූ පසු උදව් කරන්න පොරොන්දු වූ ඔබ සැමටද බොහොමත්ම පිං. අද දිනයේ මේ සිදුවීම නිසා ඇත්තෙන්ම කළ්‍යාණ මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් මුණ්ගැසුනා. එයද අප සියලුම දෙනා ලද භාග්‍යයක්.

පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

ඓතිහාසික කණබිසවාරාම පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය, හඳපානාගල. ගොඩක් අඩුපහසුකම් සහිත පන්සලක්. ඔබට මේ විහාරස්ථානයේ චෛත්‍යය ඡායාරූප වල දැකගන්න පුළුවන්. ඉතාමත් පැරණි පුදබිමක්.

නම සඳහන් කිරීමට අකමැති ෆේස්බුක් මිතුරියක් (ZS) මේ විහාරස්ථානයට ජල ටැංකියක් පූජාකලා. ඔබට බොහොමත්ම පිං.

විහාරාධිපති ස්වාමීන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක්ද සිදු කලා. මෙය දිවා රෑ පිං වැඩෙන පිංකමක් සහ එමගින් මේ විහාරස්ථානයට සැලසෙන සෙත ගැනද ජල බිඳුවක් බිඳුවක් ගානේ පිං ලැබෙනවා කියලත් උන්වහන්සේ දේශනා කලා.

ඔබ මේ කරගත්තාවූ කුසල කර්මයේ හේතුවෙන් ඔබ නිදුක් නීරෝගී වේවා. රැකි රක්ෂා කටයුතු දියුණු වේවා. මේ පින නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…

තෙරුවණ් සරණයි…

Shashi Dissanayake මිතුරියගේ පවුලේ සැමට ආශිර්වාද පතා ආදිවාසි පවුලක දියණියකට කිහිලිකරු යුගලයක් පරිත්‍යාග කිරීම

Shashi Dissanayake මිතුරියගේ පවුලේ සැමට ආශිර්වාද පතා ආදිවාසි පවුලක දියණියකට කිහිලිකරු යුගලයක් පරිත්‍යාග කිරීම

මේ දුවගේ නම මදුවාසිනී, වයස අවුරුදු 21යි. මීට අවුරුදු 11කට කලින් කකුලේ පිළිකාවක් හැදිලා කකුල කපලා ඉවත් කරලා. ආදිවාසි පවුලක දියණියක්. අම්පාර, මහ ඔය, පොල්ලේබැද්ද ගමේ ඉන්නේ.

ඉතිං පසුගිය අප්‍රේල් 9 වෙනිදා අපි මේ දුවට කිහිළි කරු යුගලයක් පරිත්‍යාග කලා. නොසෑහෙන්න පිං දුන්නා.

මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ශශී අක්කාත්, ඔබ පවුලේ සියලුම දෙනාමත් නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…

ඔබ නමින් මිය පරළොව ගිය යමෙක් දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

තෙරුවණ් සරණයි…

Location : මහ ඔය, අම්පාර

P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් මහතාගෙන් රෝදපුටුවක් අවශ්‍ය අම්මා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා.

මේ අම්මගේ වයස අවුරුදු 68යි. මැදවච්චිය, හිරල්ලුගම ගමේ ඉන්නේ. ඇවිදින්න බැහැ, එක්තැන් වෙලා ඉන්නේ.

රූපසිංහ අක්කාගේ උපන්දිනය අප්‍රේල් 11 වෙනි දිනට යෙදිලා තිබෙනවා. අක්කා කීවා ඒ වෙනුවෙන් මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා.

මං රූපසිංහ අක්කගේ ඡායාරූපයක් පවා පෙන්නුවා අම්මට, ඒ වගේම මං ඔයා ගැන විස්තරත් කීවා. අනේ නොසැහෙන්න අඬ අඬා පිං දුන්නා. යනකම්ම ඉකි ගගහා අඬන එක කලේ.

මේ කුසලයේ ආනුභාවයෙන් රූපසිංහ අක්කා නිදුක් නීරෝගී වේවා. රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ඔබ විසින් සිදු කරනා සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ අනාගත පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරුඵල ලැබේවා. විවාහ වී නොමැතිනම් යහපත් ස්වාමිපුරුෂයයෙක්/ප්‍රේමවන්තයෙක් ලැබීමටද මේ පින හේතුවාසනා වේවා.

මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

සුභ උපන්දිනයක් අක්කා…

මේ පිළිබඳව විස්තර ලබාදුන් ගයාන් මිතුරාටත්, හිරල්ලුගම ගමේ සිසිර අයියාටත් බොහොම පිං.

Location : හිරල්ලුගම, මැදවච්චිය

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත් උතුම් පිංකමක් සිදුකලා.

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා යටියන්තොටින් අම්මා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. ඉතිං අපි රෝදපුටුවකුත් අරන් යටියන්තොට ගියා ඒ අම්මා බලන්න.

මේ අම්මට වයස අවුරුදු 90යි. නම හාමිනෝනා. ඉන්නේ යටියන්තොට මීගහවල්ල ගමේ. ගොඩක් අසරණ පවුලක්. මේ අම්මට ඇවිදින්න බැහැ. ඇස් පේන්නෙත් නැහැ. වැසිකිළියටවත් යන්න විදිහක් නැහැ. බිම මෙට්ටයක තමා ඉන්නේ. වැටිලා කකුල කැඩිලා තියෙන්නේ. අපි යනකොට වේදනාවෙන් කෑගගහා හිටියේ. රෝද පුටුවේ වාඩි කරවන්න විදිහක් තිබුණේ නැහැ අනේ පුතේ මට රිදෙනවා නැගිටින්න බැහැ කියලා අඬනවා. අපි කීවා එහෙනම් පුතා ආවාට පස්සේ රෝද පුටුවෙන් වාඩි කරවයි කියලා.

අපි මේ අම්මට වැසිකිළි යන්න පහසු වෙන්න කොමඩ් එකක් සහිත රෝදපුටුවක් තමයි පරිත්‍යාග කලේ. ඒත් එක්කම සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර පාර්සලයකුත් ලබාදුන්නා. අනේ නොසෑහෙන්න පිං දුන්නා ඒ අම්මා ඉකි ගගහා අඬ අඬා පිං දුන්නේ. මගෙන් ඇහුවා මං ගෙනාපු කෑම පාර්සලේ දැන් කන්න පුලුවන් දෙයක් තියේද කියලා. මං කීවා බිස්කට් තියේ කියලා. අනේ පුතේ මට පුතාගේ අතින් බිස්කට් එකක් කවන්න කීවා. මට ඇඬුනා ඒක කියනකොට. මං බිස්කට් පැකට් එක කඩලා බිස්කට් දෙකක් කැව්වා. මගේ අත ඉඹ ඉඹ පහත් වෙලා මට වඳින ගමන් කෑවේ.

මට මේ අම්මා පිළිබඳව විස්තර සහ ඡායාරූප ලබාදුන් Dhanu Hemachandra මිතුරියටත්, වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී Rohan Chathuranga මහත්මයාටත් Nalaka Sampath, Prasanna Sanjaya Nammuni Arachchi, Chalani Jinadari යන ධනූ මිතුරියගේ මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම පිං.

මේ සිදු කලා වූ පුණ්‍යකර්මයේ බලයෙන් ඔබගේ මවද, මීට වසර 13කට පෙර අද වගේ දිනකදී මෙලොවින් සමුගත් ඔබේ පුංචි අයියා, ෆ්‍රැන්සිස් අතුකෝරල මහතාද දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක් ලැබීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප සම්පත් තව තවත් වැඩිදියුණු වීමටත් අවසානයේ අමා මහා නිවන් සුවය අත් කරගැනීමටත් හේතු වාසනා වේවා.ඒ වගේම දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

Location : යටියන්තොට