loader image
Select Page
හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම

අද දහවල් 1.30ට අපි නංගිව හදවත් සැත්කම කිරීම සඳහා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා. මම උදෑසන ආහාරය ගැනීමට ඇයව එක්කගෙන යෑමෙන් පසු ඇයව කැළණි පන්සල් එක්ක ගියා. ඉන්පසු කිරිබත්ගොඩ තිලකවර්ධන Textile එකට එක්ක ගිහින් රෝහලේ ඉන්න දින කිහිපයට අවශ්‍ය සියලුම ඇඳුම් අරන් දුන්නා. ඉන්පසු Majestic City Food Court එකට එක්ක ගිහින් 11.30ට විතර දහවල් කෑම අරන් දුන්නේ පැය 5ක් Fasting ඉන්න ඕන නිසා. රෝහලට ආවට පස්සේ සියලුම වැඩකටයුතු වලට මට සහය දැක්වූයේ ආසිරි මෙඩිකල් රෝහල් කාර්ය මණ්ඩයලේ නිළධාරිණියක් වන ගයත්‍රි (Nekshi Sahelya) නංගි. ඇය නොසිටියානම් ඇත්තෙන්ම මේ වැඩ ටික කරගැනීම අපහසුයි මට. පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ශල්‍යකර්මයට ගන්නා තුරු ඇය දැනට කාමරයේ රැඳී සිටිනවා. මා ඔබට ඉඩක් ලද විගස අලුත්ම තත්වය පිළිබඳ තොරතුරු රැගෙන එන්නම්. ඇය රාත්‍රී 7.30න් පසු ශල්‍යකර්මයට ගැනීමට නියමිතයි. චූටි පුතත් මං ලඟට වෙලා ඉන්නවා අඬන්නේ නැතුව. ඇයගේ මව රෝහලේ ඇයගේ තනිවට සිටිනවා. ඇයගේ ශල්‍යකර්මය සිදු කරන අතරතුර ඇයගේ මවට සහ දරුවාට රැඳී සිටිමට හැකි ආකාරයටද අපි කාමරය වෙන්කරගත් අතර දරුවාට සහ නංගීගේ මවගේ කෑම බීම/කිරි ආදී සියල්ලද අපි විසින් සොයා බලා සැපයීම සිදු කරනවා.

සැප්තැම්බර් 3 දක්වා ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතර ඇයට සිදු කරන්නේ හදවත් සැත්කමක් බැවින් ඇයට විවේකය අවශ්‍යයි. එම නිසා රෝහලට බලන්න පැමිණීමෙන් වලකින්න. අවස්ථාවක් ලැබුණු සැනින් ඔබට තොරතුරු රැගෙන එන්නම්. මා සැප්තැම්බර් 3 දක්වා රෝහලේ රැඳී සිටිමින් පෞද්ගලිකව ඒ වෙනුවෙන් කැපවී සිටින බව මතක් කර සිටිමි.

තෙරුවණ් ගුණ බලයෙන් සුවපත් වේවා…
ඔබේ ආශිර්වාදයත් ලබාදෙන්න….

ආගම්, ජාති බේදයකින් තොරව ඇයට උදව් කල, උදව් කරන්න පොරොන්දු වූ සහ සෙත් පතන සෑම ෆේස්බුක් මිතුරෙක්ටම පිං…

ඇස් පේන්නේ නැති මිහිරංග පුතාගේ පියාට ස්වයංරැකියාවකට සහය ෆේස්බුක් මිතුරන්ගෙන්… (ඉබ්බාගමුව)

ඇස් පේන්නේ නැති මිහිරංග පුතාගේ පියාට ස්වයංරැකියාවකට සහය ෆේස්බුක් මිතුරන්ගෙන්… (ඉබ්බාගමුව)

මේ කවුද කියලා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැනේ. අපි අද සවස 5ට මේ අයව බලන්න ගියා. මේ පියාගේ ඉල්ලීම මත ස්වයංරැකියාවක් සඳහා පින්තූර කාඩ් 800ක්, වෝල් ස්ටිකර් 15ක් සහ පෙන් හෝල්ඩර්ස් 10ක් ලබාදුන්නා. මේවා විකිණීමෙන් මොහුට ශුද්ධ ලාභය රු.75,000ක් පමණ ලබන්න පුලුවන්. මම ඔහුට විවිධ විකුණුම් ක්‍රමවේදයන් කිහිපයක්ද කියා දුන්නා. බොහොම ස්තූතියි කියා ඔහු පැවසුවා. මේ සඳහා දායකත්වය දැක්වූ ඔබ සැමට බොහොමත්ම පිං.

තවදුරටත් සමාජසත්කාර තුළින් මේ පවුලට කිසිම ආකාරයක උදව්වක් සිදු නොකරන බව කරුණාවෙන් සළකන්න. මේවා විකුණා දියුණු වීම ඔහු සතු කාර්යයකි. නැවත මෙහි ප්‍රගතියක් පෙන්වීමක් සිදු නොකෙරේ.

මෙතෙක් කතාව…

මේ පවුල ඉන්නේ ඉබ්බාගමුව. පුතාගේ ඇස් පේන්නේ නැහැ. වයස අවුරුදු 7යි. ඉස්කෝලේ 1 වසර ඉන්නේ. තාත්තා විතරයි ඉන්නේ. අම්මා පුතාට අවුරුදු 2දී දාලා ගිහිල්ලලු. පියාද හදවත් රෝගියෙක්. මහන්සි වෙලා වැඩක් කරන්න බෑ. එයාගේ අසනීපයටත් බෙහෙත් බොන එක විතරලු පිළියම. රස්සාව විදිහට කරන්නේ බස් වල, ඔෆිස් වල ගිහින් පින්තූර විකුණන එක.
මේ තාත්තයි පුතයි පුදුම ජීවිතයක් ගෙවන්නේ. උදේට පුතාව එක්කරගෙන තාත්තා ඉස්කෝලේ යනවා. ඊට පස්සේ 12.30ට ඉස්කෝලේ ඇරෙනකම් තාත්තා ඉස්කෝලෙට වෙලා ඉන්නවා. අනෙක් දරුවන්ගේ අම්මලාලු ඉන්නේ. 15කට වඩා අම්මලා ඉන්නවලු. ඒ අතර මේ තාත්තා අදහන්න වටිනවා. අම්මා දාලා ගියා කියලා දරුවට සෙනෙහසේ අඩුවක් කරලා නැහැ. පාසලේ දරුවා ලඟට වෙලා ඉන්නේ වැසිකිළි යන්න උනොත් කවුරුත් උදව්වට නැති නිසයි. පාසල් අවසන් වුණහම තාත්තා පුතාව එක්කරගෙන බස් වල හෝ ඔෆිස් වලට යනවලු ඉබ්බාගමුව ප්‍රදේශයේ තියෙන. ගිහින් හවස් වෙනකම් පින්තූර කාඩ් විකුණනවලු. හැබැයි හැමදාම නෙමේ, ගොඩක් වෙලාවට ඔෆිස් වල වැටුප් ගෙවන දවස් වලටයි. ඉතිං මේ සොච්චම මදි ජීවත්වෙන්න. කෙනෙක් පරිත්‍යාග කල ඉඩමක වරාය අධිකාරියෙන් නිවසක් හදලා දීලා තියේ.
පුතා හරිම කටකාරයි. ඇස් නොපෙනුනත් වටපිට තියෙන හැමදෙයක්ම අඳුරනවා. එයා කියනවා එයා ආසලු “මේක පුදුම ලෝකයක්” බලන්න. ටීවී එකේ යන ඒවා හොඳට මතකයි. කාර් එකට නැගලා ඒකේ දාලා තිබ්බ රේඩියෝ එකේ යන ඇඩ් එහෙම්මම කියනවා… “සතියේ දින පහේම රාත්‍රී 8.30ට, වස්සා…..නයේ…. ප්‍රේමයයි….” කියලා තාලෙට කියනවා.

පසුගිය දිනක තාත්තා හොඳටම අසනිප වෙලා රෝහලේ නතරවෙලා. පුතත් රෝහලේම තියාගෙන, වෙන බලන්න කෙනෙක් නෑනේ. නර්ස්ලා තමා බලාගෙන තියෙන්නේ. තාත්තට මොනාහරි වුනොත් දරුවා තනිවෙනවා. ඒකට පිළියමක් සොයන්නත් ඕන. තාත්තා පුතාව නිවාසයක නවත්වන්නත් කැමති නැහැ.

පසුගිය දිනක අපි මේ දෙදෙනාට ජීවිතයේ පළමු වරට නවමු අත්දැකීම් දෙකක් විඳින්න අවස්ථාව සලසලා දුන්නා. එකක් තමයි නිදහසේ Shopping කරන්න අවස්ථාව ලබාදුන්න. රු.20,000 කට ආසන්න ප්‍රමාණයක ඔවුන්ට ඇඳුම් සහ තෑගි අරන් දුන්නා. ඒ වගේම KFC එකට එක්ක ගියා.

ෆේස්බුක් මිත්‍රත්වයේ ශක්තියෙන් ආරම්භ කල දිනෙන් දින දියුණුවට පත්වෙන රම්‍යා (ARS) ඇපරල්ස්

ෆේස්බුක් මිත්‍රත්වයේ ශක්තියෙන් ආරම්භ කල දිනෙන් දින දියුණුවට පත්වෙන රම්‍යා (ARS) ඇපරල්ස්

ගමේ කඩේට රෙදි මහලා දමපු රම්‍යාලතා දැන් ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් රම්‍යා ඇපරල්ස් මගින් ශ්‍රාවස්තිපුර ඇඟලුම් සාප්පු කිහිපයකට ඇඳුම් මහලා දමන්න පටන් අරන්. අපි මේ අයට බඩු අරන් දීලා දැන් දින 13ක් වෙනවා. එදා සිට අද වෙනකම් පාන්දර වෙනකම් දෙදෙනාම වැඩ කරලා කඩ කිහිපයකට ඇඳුම් දාලා රු.15,000ක ආදායමක් ලැබුවලු. අජිත් මහත්තයත් ආබාධිත වුනාට අතින් මහන්න පුලුවන් මැෂිමෙන් මහනවා. පුංචි රෙදි කෑල්ලක්වත් අහක දාන්නේ නැහැලු. ඉතිරිවෙන කොටස් වලින් යට ඇඳුම් හරි මහනවලු. උදව් කල හැමෝටම නොසෑහෙන්න පිං දුන්නා. මටත් හරි සතුටුයි ඔවුන් දියුණු වෙනවා දකිනකොට….
ව්‍යාපාරයත් ලියාපදිංචියට දාලා තියෙන්නේ.
මොවුන් ඉක්මනින්ම පොඩියට හරි කිහිප දෙනෙක් දාලා ගාමන්ට් එකක් පටන්ගන්නවා කියලා මට විශ්වාසයි…
උදව් කල මගේ මිතුරන්ට බොහොමත්ම පිං…

මේ පවුල පිළිබඳව වැඩිදුරටත්…

මේ ඉන්නේ අජිත් බන්දුල (51), අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ඉන්නේ. ඉන්නේ කුළී ගෙදරක. බිරිඳ රම්‍යාලතා (48) දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. බුමාල් (අවුරුදු 3), පසන් (2 වසර), සචින්ත (4 වසර). මේ දරුවන්ගේ පියාට ස්නායු ආබාධයක් නිසා ඇවිදින්න බැහැ. ඒ වගේම ඔහුට දියවැඩියාව. ඒත් එහෙම කියලා නිකන් ඉන්න බෑනේ. බිරිඳත් එක්ක එකතුවෙලා බොහොම අමාරුවෙන් රෙදි ගෙනත් ඇඳුම් මහලා කඩවලට දානවා. ඔහුට කකුලෙන් පාගන්න බැරි නිසා අතින් පාගන මැෂිමකින් තමා වැඩ කරන්නේ.
දරුවෝ දෙන්නා පාසල් වැඩවලට අති දක්ෂයි. පන්තියේ හැමදාම පළවෙනියා. හැම විශයකටම ළකුණු 100 හෝ අඩුම 98 ගන්නේ. විෂය බාහිර කටයුතු වලිනුත් ඉදිරියෙන්. ඒ වගේම ශිෂ්‍ය නායකයෙක් ලොකු පුතා. හරි ආඩම්බරෙන් තාත්තා මේ දෙන්නා ගැන කතාකලේ.
මේ අයව මුණගැහුණේ අගෝස්තු 11 සෙනෙහසේ චාරිකාවේදී.

වෛද්‍යවරියක් වෙන්න සිහින මවන පුංචි දෝණිට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කල Shanghai මිතුරෝ | Family 05 (Kurunegala District)

වෛද්‍යවරියක් වෙන්න සිහින මවන පුංචි දෝණිට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කල Shanghai මිතුරෝ | Family 05 (Kurunegala District)

පසුගිය ජූලි 18 වැනි දින අපි මේ දුවව බලන්න ගියා. ගොඩක් දක්ෂ දරුවෙක්. ඇය ලැප්ටොප් පරිගණකයක් අපෙන් ඉල්ලුවා. අපි ඇයට පොරොන්දු වුනා නැවත අපි එන දවසට ලැප්ටොප් එකක් ගෙනත් දෙන්න. ඇයගේ ඒ සිහිනය අපි අද සැබෑකලා. ඒ සඳහා දායකත්වය දැක්වූවේ Shanghai වල ඉන්න මිතුරෝ පිරිසක්.
අද අපි උදෑසන මේ දුවව බලන්න ගියා. අපි ලැප්ටොප් එක ගෙනත් තියෙනවා දැක්කහම ඇයගේ මූණේ තිබුණේ දරාගන්න බැරි සතුටක්. අම්මත් සතුටු වුණා. මම ලැප්ටොප් එක භාවිතා කරන විදිහ කියලා දුන්නා. ඩොන්ගල් එකක් සහ මවුස් එකකුත් ලබාදුන්නා. මං කියලා දුන්නා ප්‍රවේශමෙන් ඒක භාවිතා කරන විදිහත් අන්තර්ජාලය හරි ආකාරයට භාවිතා කරන ආකාරයත්, උසස් පෙළ අවසන් වෙන තෙක් සීමා සහිතව එය අධ්‍යාපන කටයුතු වලට යොදාගන්නා ආකාරයත්. අපි ඇයව උඩුබද්දාව නිසල නැණසලේ සර්වෝදය ෆියුෂන් විසින් සිදු කරන බුද්ධි දාන පරිගණක ශිෂ්‍යත්ව වැඩසටහනටත් ඇතුල්කලා මාස 6ක පරිගණක ඩිප්ලෝමා පාඨමාලාවක් කරන්න. ඒ එක්කම මේ Shanghai මිතුරන් මට සම්බන්ධ කල මිහිරි අක්කාටත් මම ෆේස්බුක් වීඩියෝ කෝල් එකක් අරන් දුන්නා කතා කරන්න දුවට. අම්මයි දුවයි ගොඩක් පිං දුන්නා. මිහිරි අක්කත් ගොඩක් උපදෙස් දුන්නා දුවට සහ පුතාට හොඳට ඉගෙන ගන්න කියලා. ඉතිං මේ දුවගේ සිහිනය සැබෑ කල Shanghai මිතුරන්ට මාගේ හද පිරි ස්තූතිය. බොහොම පිං….

දුවේ ඔයාගේ වගේම අපෙත් එකම බලාපොරොත්තුව ඔබ වෛද්‍යවරියක් වනු දැකීමයි…. හොඳින් ඉගෙන ගන්න….

ප.ලි : ඇයට ලැප්ටොප් එකක් අවශ්‍යයි යැයි පෝස්ට් එකක් දැමූ විට ෆේස්බුක් මිතුරෙක් ලැප්ටොප්, ඩොන්ගල්, ප්‍රින්ටර් සියල්ල දෙන්න පොරොන්දු වුණා. මම ඉන්පසු ප්‍රොජෙක්ට් එක Close කලා. පහු වෙනිදට එවන්නම් කියු ඔහුගෙන් අද වෙනකම් පිළිතුරක් නැහැ. නමුත් Messages seen වෙනවා. ඉන්පසු මේ අයගේ ගෙදරට අල්ලපු ගෙදර හිටිය දැන් රට ඉන්න කෙනෙකුත් පොරොන්දු වුණා. ඔහුගෙනුත් ආරංචියක් නැහැ. යාලුවනේ ඔබට බැරිනම් කමෙන්ට් කිරීමෙන් වළකින්න. සම්බන්ධ වෙන්න කැමති කෙනෙක්ට අවස්ථාව ලබාදෙන්න. ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට, බොරුවට ෆේස්බුක් එකෙහි අනෙක් අයට කැපී පෙනීමට කමෙන්ට් දැමීමෙන් හෝ ව්‍යාපෘති වලට වංචා සහගත කමෙන්ට් දැමීමෙන් වලකින්න. එසේ කිරීමෙන් තවකෙකුට පිනක් සිදුකරගැනීමට ඇති අවස්ථාව අහිමි කිරීමෙන් ඔබ ලොකු පවක් සිදු කරගන්නේ. දෙදෙනෙක්ගේ බොරු නිසා අපිට මේ ව්‍යාපෘතිය මාසයකට වඩා කල් ගියා.

පවුල පිළිබඳව වැඩි දුරටත්….

වෛද්‍යවරියක් වෙන්න සිහින මවන පුංචි දෝණි – හැමදාම පන්තියේ පළවෙනියා, ඉන්න ගෙදර කඩාවැටෙන්න ආසන්නයි…

මේ පවුල ඉන්නේ උඩුබද්දාව, කට්ටිමහන, වඳුරඹ. දුව ඉගෙනගන්නේ 10 වසර, පුතා 4 වසර. තාත්තා කොහු මෝලක වැඩ කරන්නේ. අම්මා කුලී වැඩ කරනවා. මේ අය ඉන්න ගෙදරට පහුගිය ගංවතුර දිනවල වතුර දාලා බිත්ති හොඳටම තෙමිලා. ඉරිතලලා ගිහින්. මුක්කු ගහලා බිත්ති බේරගෙන තියෙන්නේ. කොයි මොහොතේ ගෙදර කඩා වැටෙයිද දන්නේ නැහැ.
මේ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂ දුවෙක්. සෑම විෂයකටම වාගේ 75න් ඉහල ළකුණු ගන්නවා. බොහෝවිට පන්තියේ පළවෙනියා. මේ දුවගේ සිහිනය වෛද්‍යවරියක් වෙන එක. එය ඇයට සුලු දෙයක්. ඇය ශිෂ්‍යත්ව විභාගයෙන්ද ලකුණු 168ක් අරන් තියෙනවා. මේ දුව IT ඉගෙන ගන්නේ. ගෙදර රු.15,000ට ගත්ත පරණ කොම්පියුටර් එකක් තියේ. නමුත් ඒක දැන් කැඩිලා.
මම දුවට කොම්පියුටර් එකක් අරන් දෙනවා කීවහම අනේ මහත්තයා බුදුබව ලැබෙනවා කියලා මගේ කකුල් දෙක අල්ලලා වඳින්න පහත් වුනා. පවු, කොච්චර අසරණද…

ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ සීයා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Torika Oshadie Kumanayaka අක්කා

ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ සීයා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Torika Oshadie Kumanayaka අක්කා

අගෝස්තු 16 වැනිදා Chamila Amaradiwakara අයියගේ උපන්දිනය. ඉතිං මාසයක පටන් මමයි අක්කයි ඔහු වෙනුවෙන් පිංකමක් කරන්න සැලසුම් කලා. මට මේ සීයා ගැන කීවේ Rohan Indika ෆේස්බුක් මිතුරා. අද මම මේ සීයා බලන්න අකුරැස්සට ගියා. සියගේ කකුල් වගේම අත් දෙකත් පණ නැහැ. ආච්චියි, සීයයි තමයි එකට ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ පවුලක්.

මම ඕෂදී අක්කාට ෆේස්බුක් මැසෙන්ජර් වීඩියෝ කෝල් එකක් ගත්තා. අයියත් කතා කලා. සීයයි, ආච්චියි ගොඩක් පිං දුන්නා. “දැන් මට එළියේ ඇවිදින්නත් පුලුවන්, අනේ බොහොම පිං, හරී සතුටුයි මට” කීවා. ඒ දෙන්නටත් ගොඩක් සතුටුයි.

මමත් එන්න ලැහැස්ති වෙලා දණගහලා දෙන්නටම වැන්දා, ආච්චි මාව බදාගෙන ඇඬුවා. මගේ පුතා වගේ කීවා. උම්මා එකකුත් දුන්නා. හවස 5.30 වෙනකලුත් දවල්ට කාලා හිටිය නැති මට ඇඟට ලොකු ශක්තියක් ආවා…

සමාජසත්කාර One Call | Does All Hotline එකට ලැබුණු ඇමතුමක් අනුව තමා අපි මේ සීයට උදව් කරන්න ගියේ. මග පෙන්වූ රොහාන් අයියටත් පිං. මේ අද දවසේ අපි පරිත්‍යාග කල දෙවෙනි රෝද පුටුව.

මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් චමිල අයියාත්, ඕෂදී අක්කාත් නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…

සුභම සුභ උපන්දිනයක් අයියා..

Location : අකුරැස්ස