loader image
Select Page

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර), දිනිති (3 වසර). අන්ත අසරණ පවුලක්. කුළී වැඩ කරලා ජීවත්වෙන්නේ. දරුවන්ගේ අම්මා සමහර දවස් වලට බයිට් කම්පැනියක වැඩ කරනවා. ඒත් දරුවන්ව බලාගන්න ඕන නිසා අම්මා ඒ රස්සාවට යන එක නවත්වල තියෙන්නේ. අපි ඒ අම්මව මුණගැහුණ වෙලාවේ අම්මා කිව්වේ ගෙදර ඉඳන් මොනවා හරි ස්වයංරැකියාවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියලා. ඉතිං අපි මේ පවුලට මහන මැෂිමක් පරිත්‍යාග කලා.

අපි මේ පවුල බලන්න ගියේ මීට සති කිහිපයකට පෙරයි. මහන මැෂිමක් ලබාදුන්නොත් ස්වයංරැකියාවක් කරන්න පුලුවන්ද කියලා අපි ප්‍රථමයෙන් විමසුවා. ඇය ඒ පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කලා. අපි ඔවුන්ට මහන මැෂිම ලබාදෙන්න දෙවරක් ගියත් ඔවුන් නිවසේ සිටියේ නැහැ. දුරකතන නොමැති නිසා සම්බන්ධ කරගන්න ගොඩක් අපහසුයි.

මොවුන් ඉන්නේ තනි කාමරයේ පුංචි පැලක. ඇත්තෙන්ම මේ මැෂින් එක ගේ ඇතුලට දැම්මට පස්සේ ඔවුන්ට මේ නිවස ඇතුලේ එහෙට මෙහෙට යන්නවත් ඉඩ නැති වෙනවා. පසුගිය සතියේ අපි ඔවුන්ට මෙලෙස ජුකී මැෂිමක් පරිත්‍යාග කලා.

ප්‍රථමයෙන්ම ඇය පාපිසි, යට සායවල්, ගවුම් ආදිය මැසීමට බලාපොරොත්තු වනවා. බඩල්කුඹුර, බුත්තල, ඔක්කම්පිටිය පොළවල් වල ඇයට ඒවා විකීමට හැකි බව ඇය පැවසුවා.

මේ ජුකී මැෂින් එක ක්‍රියා කරන්නේ විදුලියෙන් වුනත් දැන් ඇය මුහුණ පාන ලොකුම ප්‍රශ්නය වන්නේ ඇගේ නිවසට විදුලිය නොමැති විමයි. දැනට ඇය විදුලිය ලබාගන්නේ අසල නිවසකින් කුඩා වයර් එකක් මාර්ගයෙන්. ඇය කෙසේ හෝ මහන මැෂිම වෙනුවෙන් විදුලිය ලබාගන්නට බලාපොරොත්තු වන බව අපට පැවසුවා.

ඇයත් දරුවෝ දෙදෙනාත් නොසෑහෙන්න සතුටු වුණා. මේ පරිත්‍යාග සිදුකල මිතුරාට ඇය බෙහෙවින් පිං දුන්නා. අපි ඔහුගේ ඡායාරූපයක්ද ඔවුන්ට පෙන්වූවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…