by Danesh Edirisooriya | May 18, 2016 | Shelter / Home
මේ පවුල ඉන්නේ දියතලාව වෙළන්හින්න, කහඹිලිය ගමේ. පවුලේ දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් පාසල් යනවා. 5 වෙනි පුතා උසස් පෙළ අවුරුද්දක් ගිහින් නතර වෙලා ආර්ථික ප්‍රශ්න නිසා. සාමාන්‍ය පෙළ A3, B2, C3 ක් අරන් තියෙනවා. අනික් දරුවෝ හැමෝමත් දක්ෂ දරුවෝ. පංතියේ 3, 7, 12 වගේ වෙලා තියෙනවා. දරුවගේ පියා කඩේක උදව්වට යනවා. අම්මා මල් පාත්ති වල තණකොල ගලවනවා කුලියට. ඉන්න ගෙදර ගරා වැටිලා. ඒකත් හදාගෙන තියෙන්නේ සමෘද්ධියෙන් දීපු රු.40,000කින් සහ ගමේ ගෙවල් වලින් ඉවත් කල උළුවහු, ජනෙල් දාලා. එක කාමරයයි තියෙන්නේ. කුස්සියට ඉටිරෙදි වටකරලා තියෙන්නේ.
හිමාල අයියයි, එයාගේ තාත්තයි, නයෝමි අක්කගේ තාත්තයි අද මේ අයව බලන්න ආවා. ඉතිං අපි මේ අයටත් නිවසක් හදන්න ආරම්භ කලා….
හිමාල අයියගේ පුංචි දෝණි තිණූෂි දුවට වසරක් පිරීම නිමිත්තෙන් තමා මේ ව්‍යාපෘතිය කරන්නේ. ඔබ දෙපළට බොහොම පිං.
අපි මේ අයට ඉදිරියේ ස්වයංරැකියාවකට සහ දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. පුතාට වසරක් යන තෙක් විෂයන් 4කට පෞද්ගලික පංති යන්නත් අපි උදව් කරනවා.
by Danesh Edirisooriya | May 16, 2016 | Shelter / Home
අපේ අයියා දවස් ගාණක් කොළඹනේ හිටියේ. ඊට පස්සේ කුරුණෑගල, නුවරඑළිය හරහා අද සවස ආපහු ගෙදර ආවා. නමුත් මහන්සි නොබලා අයියා ගෙදර බලන්න ගියේ ඒක ඔහුගේ වගකීමක් නිසා. වැස්ස කියලා අපි කවදාවත් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ නැහැ. මතකනේ සමාජසත්කාර බුද්ධ මන්දිරය හදපු මාස දෙකේම වැස්සා. නමුත් අපි වැඩ කලා. අවශ්‍යතාවය තියේනම් කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි. ඉටිරෙදි වහගෙන අද වැඩ කලේ කට්ටිය.
දැන්නම් ගෙදර පුදුම ලස්සනක් තියෙන්නේ. දැක්කහම ආස හිතෙනවා. ඉක්මනට යන්න ඕන බලන්න.
Location : ජයමිණිපුර, දියතලාව
by Danesh Edirisooriya | May 11, 2016 | Self Employment
උඩුබද්දාව බ්ලොක්ගල් වැඩපලේ වැඩ ආරම්භ කලා. දරුවන්ගේ තාත්තා පුදුම සතුටකින් ඉන්නේ. පිං දෙනවා හැමෝටම. දැන් ගඩොල් කපනවා. දවසට 100ක් වගේ තමා කපන්නේ. වැස්ස නිසා මේ ටිකේ පොඩ්ඩක් අපහසුයි. අනික එයත් අසනීපෙන්නේ. මාස 2ක් තිස්සේ විදුලිය ගන්න විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියත් තාමත් දීලා නැහැ. ගෙදරින් වයර් එකක් ඇදලා දැනට වැඩ. අල්ලපු ගෙදරින් ලියුමක් ගේන්න කිව්වලු සප්ලයි එක දෙන්න. ඒ ගෙදර අයගේ අවසරය ඕනලු ඒ අයට කරදරයක් නෑ කියලා. අනේ මන්දා හැම ප්‍රශ්නයක්ම පොඩි මනුස්සයටයි. ගෙදරට විදුලිය තිබ්බේ නැතිනම් ඉතිං මේ මනුස්සයා මොනා කියලා කරන්නද…
සිමෙන්ති කොට්ටයකින් දැනට බ්ලොක්ගල් 90ක් හදනවලු. මම කීවා කිසිම හේතුවකට ප්‍රමිතිය බාල කරන්න බෑ කියලා. මොකද මේ ව්‍යාපාර තියෙන්නේ සමාජසත්කාර නාමය යටතේ නිසා.
බ්ලොක්ගල් වැඩපල ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්න ඉල්ලුම් කරලා තියෙන්නේ.
ඊලඟ වතාවේ මම ඒ අයට නාම පුවරුවක්, බිල් පොතක් සකසා දෙනවා. ඒත් සමඟම බ්ලොක්ගල් වල ප්‍රමිතිය මා විසින්ම පරික්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. අහඹු ලෙස තෝරගත් ගඩොල් කිහිපයක් පීඩනයට ඔරොත්තු දෙන ආකාරය සොයා බලනවා.
මම යන්න ලැහැස්ති වෙනකොට තාත්තට කීවා ෆොටෝ එකක් ගන්න එන්න කියලා. මම එයාගේ කරට අත දැම්මහම කීවා “අනේ මහත්තයා දාඩිය” කියලා. මම කීවා කමක් නෑ, මහන්සි වෙලා වැඩ කරලා ආපු දාඩියනේ කියලා.
එයාගෙන් බ්ලොක්ගල් කපන්න අපි හදවපු අඹ ලෑල්ලකුත් ඉල්ල ගත්තා, මොකද මේ විදිහෙම වැඩපලක් පොලොන්නරුවෙත් අපි ආරම්භ කරනවනේ…
බලන්න දරුවන්ගේ මූණුවල තියෙන සිනහව… මගේ ෆේස්බුක් යාලුවෝ හැමෝටම ගොඩක් පිං… ඔයාලා නිසයි මේ පවුල අද සතුටෙන් ඉන්නේ.
by Danesh Edirisooriya | May 8, 2016 | Shelter / Home
කපරාරුව අවසන්. අද බිම බදාම කපලා අවසන් කරනවා. පොළොව සම්පූර්ණයෙන්ම කළු සිමෙන්ති වලින් මදිනවා. නිවස වටේටම පේමන්ට් එකක් සහ ඉදිරිපස වැරැන්ඩා එකක් සහිතව ගොඩ නගන්නේ. සියල්ල කලු සිමෙන්ති වලින් මදින අතර නිවස සුදු සහ නිල් වර්ණයෙන් වර්ණ ගැන්වෙනවා. දියතලාවට හොඳටම වැස්ස. නමුත් අද රෑ මම කොළඹ යන්න ඕන නිසා යන්න කලින් බලන්න ආවා.
Location : ජයමිණිපුර, දියතලාව
by Danesh Edirisooriya | May 5, 2016 | Shelter / Home
බොහෝ දුරට දැන් වැඩ අවසන්. මම අසනීපෙන් නිසා අයියා ගිහින් විස්තර බලලා ආවා. චිමිනිය කපරාරු කරන්න තියෙනවා. ඊට පස්සේ දොර ජනෙල් සවි කරන්න ඕන. පේමන්ට් එක දාන්නත් ඕන…
Location : ජයමිණිපුර, දියතලාව