ගමේ කඩේට රෙදි මහලා දමපු රම්‍යාලතා දැන් ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් රම්‍යා ඇපරල්ස් මගින් ශ්‍රාවස්තිපුර ඇඟලුම් සාප්පු කිහිපයකට ඇඳුම් මහලා දමන්න පටන් අරන්. අපි මේ අයට බඩු අරන් දීලා දැන් දින 13ක් වෙනවා. එදා සිට අද වෙනකම් පාන්දර වෙනකම් දෙදෙනාම වැඩ කරලා කඩ කිහිපයකට ඇඳුම් දාලා රු.15,000ක ආදායමක් ලැබුවලු. අජිත් මහත්තයත් ආබාධිත වුනාට අතින් මහන්න පුලුවන් මැෂිමෙන් මහනවා. පුංචි රෙදි කෑල්ලක්වත් අහක දාන්නේ නැහැලු. ඉතිරිවෙන කොටස් වලින් යට ඇඳුම් හරි මහනවලු. උදව් කල හැමෝටම නොසෑහෙන්න පිං දුන්නා. මටත් හරි සතුටුයි ඔවුන් දියුණු වෙනවා දකිනකොට….
ව්‍යාපාරයත් ලියාපදිංචියට දාලා තියෙන්නේ.
මොවුන් ඉක්මනින්ම පොඩියට හරි කිහිප දෙනෙක් දාලා ගාමන්ට් එකක් පටන්ගන්නවා කියලා මට විශ්වාසයි…
උදව් කල මගේ මිතුරන්ට බොහොමත්ම පිං…
මේ පවුල පිළිබඳව වැඩිදුරටත්…
මේ ඉන්නේ අජිත් බන්දුල (51), අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ඉන්නේ. ඉන්නේ කුළී ගෙදරක. බිරිඳ රම්‍යාලතා (48) දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. බුමාල් (අවුරුදු 3), පසන් (2 වසර), සචින්ත (4 වසර). මේ දරුවන්ගේ පියාට ස්නායු ආබාධයක් නිසා ඇවිදින්න බැහැ. ඒ වගේම ඔහුට දියවැඩියාව. ඒත් එහෙම කියලා නිකන් ඉන්න බෑනේ. බිරිඳත් එක්ක එකතුවෙලා බොහොම අමාරුවෙන් රෙදි ගෙනත් ඇඳුම් මහලා කඩවලට දානවා. ඔහුට කකුලෙන් පාගන්න බැරි නිසා අතින් පාගන මැෂිමකින් තමා වැඩ කරන්නේ.
දරුවෝ දෙන්නා පාසල් වැඩවලට අති දක්ෂයි. පන්තියේ හැමදාම පළවෙනියා. හැම විශයකටම ළකුණු 100 හෝ අඩුම 98 ගන්නේ. විෂය බාහිර කටයුතු වලිනුත් ඉදිරියෙන්. ඒ වගේම ශිෂ්‍ය නායකයෙක් ලොකු පුතා. හරි ආඩම්බරෙන් තාත්තා මේ දෙන්නා ගැන කතාකලේ.
මේ අයව මුණගැහුණේ අගෝස්තු 11 සෙනෙහසේ චාරිකාවේදී.
