loader image
Select Page
මවගේ උපන්දිනය වෙනුවෙන් මාපිය දෙපළටම නීරෝගීසුව පතා රෝදපුටුවක් පරිත්‍යාග කල Happy Buddys ෆේස්බුක් මිතුරිය

මවගේ උපන්දිනය වෙනුවෙන් මාපිය දෙපළටම නීරෝගීසුව පතා රෝදපුටුවක් පරිත්‍යාග කල Happy Buddys ෆේස්බුක් මිතුරිය

පසුගිය ජූලි 25 වෙනිදා හර්ෂනී මිතුරියගේ මව රන්ජනී මහත්මියගේ උපන්දිනය. ඒ වෙනුවෙන් සහ ඇයගේ පියා බණ්ඩාරනායක මහතා වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා ඇය මගෙන් ඉල්ලා සිටියා.
මේ පවුල ඉන්නේ බෝම්බුහින්න ගමේ. ඔයාලා දන්නවනේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ඊට පහළ තමා මේ ගම තියෙන්නේ. අතිශය දුෂ්කර පාරක තේවත්තක් මැදින් කිලෝමීටර් 4ක් ගිහින් ඊට පසුව මීටර් 300ක් විතර රෝද පුටුවත් කරේ තියන් යන්න වුනා මේ ගෙදරට යන්න. අසරණ පවුලක්. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මේ 17 වයසැති පුතා උපතේ සිට ආබාධිතයි. මන්ද මානසික දරුවෙක්. ඉස්සර ඉඳන්ම රෝද පුටුවක් ඉල්ලුවත් කවුරුත් දීලා නැහැ. අපේ සමාජසත්කාර HOPE Hotline එකට ඇමතුමක් ආවා, හපුතලේගම පන්සලේ හාමුදුරුවන්ගෙන්. උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ තමා අපි මේ අයව සොයාගෙන ගියේ. අපි රෝද පුටුව පරිත්‍යාග කලහම ඒ අය නොසෑහෙන්න පිං දුන්නා.
මේ කලාවූ කුසලයේ බලමහිමයෙන් ඔබගේ මවත්, පියත් නීරෝගීව බොහෝකල් ජීවත් වේවා. නිර්වාණ සම්පත්තියටද මේ කුසලය හේතු වාසනා වේවා. තෙරුවණ් සරණයි !

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

ජීවිතයෙන් සමුගත් නූපන් පුතුට නිවන් සුව පතා පොඩි පුතෙක්ගේ සිහිනයක් වූ බයිසිකලයක් පරිත්‍යාග කිරීම

සමාජසත්කාර Dream Hotline එක ආරම්භ කරලා දැනට දින 3-4ක් වෙන්නේ. ඊයේ මට කෝල් එකක් ආවා පොඩි පුතෙක්ගෙන්. “ධනේෂ් මාමේ මට බයිසිකලයක් ඕන” කීවා. මං කීවා හා පුතේ මම අරන් එන්නම් කියලා. අද අපි ඒ පුතාව බලන්න ගියා. මේ අය ඉන්නේ අරණායක, සැලව කියන ගමේ. කිලෝමීටර් 1 1/2 ක් අති දුෂ්කර පාරක ලොකු කන්දක් නැග්ගා. බයිසිකලය දැකලා පොඩ්ඩට ගොඩක් සතුටුයි. ලංකාවේ වෙන කිසිම තැනක මේ තරම් ඉක්මනට උදව් ඉල්ලුවහම ලැබෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ.
මේ පුතා 7 වසර, දුව 5 වසර. අම්මා බීඩි ඔතලා තමා මේ දරුවන්ව රැකගන්නේ. තාත්තා පොඩි කාලෙම දාලා ගිහින්. පොඩි මැටි ගෙදරක ඉන්නේ. ඉටිකොල වලින් වහපු වැසිකිළියක් තමා මේ අයට තියෙන්නේ.
මේ දරුවෝ දෙන්නා පාසල් යන්න ලොකු දුකක් විඳිනවා. උදේ පාන්දර 6.30ට තමා කන්ද බහින්න පටන්ගන්නේ. පහලට බැහැලා තවත් දුරක් පයින් යන්න ඕන පාසලට. ආයේ හවසට ගිනි ගහන අව්වේ පාසල් ඇරිලා එනකොට 3ත් පහුවෙනවා. හදිසියකට බෙහෙතක් ගන්නවත් යන්න විදිහක් නෑ. වැස්ස දවසට පහලට යන්න කොහෙත්ම බෑ. දින කිහිපයක්ම වැටිලා තුවාල කරගෙන. හැබැයි ආයෙත් මේ දුවටයි පුතාටයි පයින් යන්න ඕන නැහැ කන්ද පල්ලමේ ඉඳන්… දැන් ලස්සන බයිසිකලයක් තියෙනවනේ…
දරුවෝ දෙන්නටම හරිම සතුටුයි. අම්මත් ගොඩක් පිං දුන්නා…
අප්‍රේල් 10 වෙනිදා තමා දිලූෂි අක්කගේ දිලුක්ෂ පුතා මෙලොව එළිය දකින්නත් කලින් මෙලොවින් සමුගත්තේ. පුතාට පිං පිණිස තමා අක්කා මට මේ පිංකම කරන්න කීවේ….
අක්කේ ඔයා මේ කල කුසලයේ ආනුභාවයෙන් දිලුක්ෂ පුතා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප තව තවත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…
අපි මේ අයට තවත් දේවල් දුන්නා….
ඊලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න…

මතු සම්බන්ධයි…

මෙතෙක් කතාව…

සමාජසත්කාර Dream Hotline එකට ඊයේ කෝල් එකක් ආවා පොඩි දුවෙක්ගෙනුයි, පුතෙක්ගෙනුයි. පුතාට බයිසිකලයක් ඉල්ලුවා. දුවට ඉස්කෝලේ යන්න දේවල් ඉල්ලුවා. ඉතිං මම උදේම පිටත් වුණා අරණායක යන්න. මාවනැල්ලෙන් බයිසිකලයක් ගන්න බැලුවත් හොඳ ඒවා තිබුනේ නැහැ. ආයෙත් කෑගල්ලට ගිහින් එකක් අරන් අරණායක, සැලව කියන ගමට ආවා.පැය 6ක් ගියා එතනට යන්න. මේ කතා කල දරුවන්ගේ ගෙවල් තියෙන්නේ පාරෙන් කිලෝමීටර් 1 1/2ක් විතර දුර. අති දුෂ්කර පාරක කන්දක් මුදුනේ. බයිසිකලය කන්ද මුදුනට ගෙනියන්න ගමේ අයගෙන් උදව් ඉල්ලුවත් කවුරුවත් උදව්වට ආවේ නැහැ. අපි මේ දරුවන්ට තව පාසල් උපකරණ සහ මාසෙකට සෑහෙන්න වියළි ආහාර පාර්සලයකුත් අරන් ගියා. ඒ ඔක්කොමත් අරගෙන අපි කන්ද නැග්ගා. මට මේ දරුවෝ ගැන විස්තර කීව ෆේස්බුක් මිතුරියගේ නංගී පමණක් අපේ සහයට ආවා. අතරමග නැවති නැවති හිමින් සැරේ කූඩැල්ලෝ ගහන කැලේ මැඳින් අපි පැයක් විතර කන්ද නැගලා අන්තිමේදී නිවසට සේන්දු වුණා.
ගෙදරදි බයිසිකලයක් තියා පුළුන් කොට්ටයක්වත් උස්සන්නේ නැති මම අද මේක ගොඩක් දුර උස්සගෙන ගියා… මට මහන්සියි තමා, ඒත් පවුලක්, දරුවෝ දෙන්නෙක් ජීවිත කාලයක් සතුටු වෙනවනේ මගේ පැයක දෙකක මහන්සිය නිසා…
කොපමණ මහන්සි වුනාද කියලා දැනගන්න අපි ගත්ත ඡායාරූප සියල්ලක්ම මම අප්ලෝඩ් කලා…