loader image
Select Page

Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත් උතුම් පිංකමක් සිදුකලා.

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා යටියන්තොටින් අම්මා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. ඉතිං අපි රෝදපුටුවකුත් අරන් යටියන්තොට ගියා ඒ අම්මා බලන්න.

මේ අම්මට වයස අවුරුදු 90යි. නම හාමිනෝනා. ඉන්නේ යටියන්තොට මීගහවල්ල ගමේ. ගොඩක් අසරණ පවුලක්. මේ අම්මට ඇවිදින්න බැහැ. ඇස් පේන්නෙත් නැහැ. වැසිකිළියටවත් යන්න විදිහක් නැහැ. බිම මෙට්ටයක තමා ඉන්නේ. වැටිලා කකුල කැඩිලා තියෙන්නේ. අපි යනකොට වේදනාවෙන් කෑගගහා හිටියේ. රෝද පුටුවේ වාඩි කරවන්න විදිහක් තිබුණේ නැහැ අනේ පුතේ මට රිදෙනවා නැගිටින්න බැහැ කියලා අඬනවා. අපි කීවා එහෙනම් පුතා ආවාට පස්සේ රෝද පුටුවෙන් වාඩි කරවයි කියලා.

අපි මේ අම්මට වැසිකිළි යන්න පහසු වෙන්න කොමඩ් එකක් සහිත රෝදපුටුවක් තමයි පරිත්‍යාග කලේ. ඒත් එක්කම සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර පාර්සලයකුත් ලබාදුන්නා. අනේ නොසෑහෙන්න පිං දුන්නා ඒ අම්මා ඉකි ගගහා අඬ අඬා පිං දුන්නේ. මගෙන් ඇහුවා මං ගෙනාපු කෑම පාර්සලේ දැන් කන්න පුලුවන් දෙයක් තියේද කියලා. මං කීවා බිස්කට් තියේ කියලා. අනේ පුතේ මට පුතාගේ අතින් බිස්කට් එකක් කවන්න කීවා. මට ඇඬුනා ඒක කියනකොට. මං බිස්කට් පැකට් එක කඩලා බිස්කට් දෙකක් කැව්වා. මගේ අත ඉඹ ඉඹ පහත් වෙලා මට වඳින ගමන් කෑවේ.

මට මේ අම්මා පිළිබඳව විස්තර සහ ඡායාරූප ලබාදුන් Dhanu Hemachandra මිතුරියටත්, වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී Rohan Chathuranga මහත්මයාටත් Nalaka Sampath, Prasanna Sanjaya Nammuni Arachchi, Chalani Jinadari යන ධනූ මිතුරියගේ මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම පිං.

මේ සිදු කලා වූ පුණ්‍යකර්මයේ බලයෙන් ඔබගේ මවද, මීට වසර 13කට පෙර අද වගේ දිනකදී මෙලොවින් සමුගත් ඔබේ පුංචි අයියා, ෆ්‍රැන්සිස් අතුකෝරල මහතාද දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක් ලැබීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප සම්පත් තව තවත් වැඩිදියුණු වීමටත් අවසානයේ අමා මහා නිවන් සුවය අත් කරගැනීමටත් හේතු වාසනා වේවා.ඒ වගේම දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

Location : යටියන්තොට