loader image
Select Page
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා…

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා…

දුමිනි අක්කා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. විශේෂ හේතුවක්නම් නැහැ. ඇය මීට කලිනුත් මෙවැනි පිංකම් කලා. ඇයට අවශ්‍යවුනේ උදව් අවැසි කෙනෙක්ට උදව් කරලා සතුටු වෙන්න. ඉතිං පසුගියදා බුත්තල සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 5 දෙනා වෙනුවෙන් අපි දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. ඔයාගේ ෆොටෝ එකකුත් මං පෙන්නුවා. ගොඩක් පිංදුන්නා, ඔයාට ආශිර්වාද කලා.

ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබට ඉදිරි අනාගතයේදී නීරෝගී වාසනාවන්ත දරුවන් මෙලොවට බිහිකිරීමට හැකිවේවා. ඔබගේ ජීවිතය සාර්ථක වේවා. අපල උපද්‍රව දුරු වේවා. ඔබගේ රැකියා ජීවිතය ඇතුලු සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා. තෙරුවණ් සරණයි.

මනුසත් හදවත් හි දයාවෙන් නැවත ජීවය ලැබූ පැටී ? ? ? (බව්Cart Project 01 | අවිස්සාවේල්ල) – Part 01

මනුසත් හදවත් හි දයාවෙන් නැවත ජීවය ලැබූ පැටී ? ? ? (බව්Cart Project 01 | අවිස්සාවේල්ල) – Part 01

පැටී දැන් අපි හැමෝගෙම සුරතලා වෙලා. පැටීව දැකපු දවසේ ඉඳන් එයා වෙනුවෙන්
ෆේස්බුක් එකේ අයියලා අක්කලා නැන්දලා මාමලා ගොඩක් ඉදිරිපත් උනා දෙපා අහිමි උන මේ අසරණ පැටීට සරණක් වෙන්න. අද ඒ හැමෝගෙම සහයෝගෙන් පැටී ඔන්න ඇවිදිනවා…

පෙර භවයන්හි රැස් කරගත් කුසලා නිසංසයන්ගේ බලයෙන් අප හැම මිනිස් ආත්මභාවයක් ලැබූවද පැටී ට එය නොහැකි වන්නට ඇත්තේ මොනයම් හෝ අකුසලයක් නිසා වන්නට පුළුවන්. අපිට අපේ දුක වේදනාව කියන්නට හැකි උනාට පැටීට ජීවිත කාලෙම එයාගෙ දුක කියන්න හැකියාවක් නැහැ. පසුපස දෙපා අහිමිව බොහොම අමාරුවෙන් ඉදිරිපස දෙපා වලින් ඉදිරියට ඇදි ඇදී ගමන් කරන්නට වෙන එක කොයිතරම් අපහසු දෙයක්ද. ඒ වේදනාව වචනින් කියලා තේරුම් කරන්න පැටීට බැරි උනත් අපේ ෆේස්බුක් මිතුරන්ට පැටීගේ ඇස් වලින් එයාගෙ වේදනාව තේරුම් ගන්න පුළුවන් උනා.

පැටීගේ දුක තමන්ගේ දුකක් කරගත්ත, අසරණ උන පැටීව තමන්ගේම දරුවෙක් කරගත්ත බොහෝමත්ම කරුණාබර හදවත් වල උතුරා ගිය සෙනෙහස නිසාවෙන් අද පැටීටත් අපි ඔන්න රෝද පුටුවක් අරන් දුන්නා. මිනිසුන් වෙනුවෙන් මොනතරම් නම් රෝද පුටු නිර්මාණය කරනවාද, ඒ අවශ්යතාවය කියන්න පුළුවන් අපේම මිනිසුන් වෙනුවෙන්. නමුත් අද අපි හැමෝම එකතු වෙලා මේ පුංචි රෝද පුටුව නිර්මාණය කළේ අවශ්යතාව කියාගන්න බැරි කෙනෙක් වෙනුවෙන්.

අපි මේ රෝද පුටුව පැටීට සවි කළාම ඒක එයාට අමුතු දෙයක් උනා. මුලින්ම වේගෙන් දුවගෙන ගියා. ගලවගන්න උත්සාහ කලා. හුරු නැති නිසා වෙන්න ඇති. හෙළවෙන්නෙ වත් නැතුව ඊට පස්සේ අඬන්න වගේ අපි දිහා බලන් හිටියා. ටික වෙලාවකින් පොඩ්ඩ පොඩ්ඩ ඇවිද්දා. ටික දවසක් යද්දි හුරු වේවි. තාම හුරු ඉස්සර වගේ අමාරුවෙන් ඇවිදලානෙ. ටික දවසකින් පහසුවෙන් ඇවිදින විදිහ පැටීට තේරේවි.

පැටී කියන්නෙ මහ මඟ අසරණ වෙලා තනිවම හැදුන කෙනෙක්. බල්ලෙක්ගේ සපාකෑමකට ලක් වෙලා තමයි පැටීට එයාගෙ දෙපා පණ නැති වුනේ. දෙපා පණ නැතිව අසරණ උන පැටී හිටියෙ කාත් කවුරුවත් පිහිටට නැතිවයි. අපේ කාට හරි දෙපා අහිමි වෙලා හෝ එක්තැන් වෙලා හෝ මහමඟට වැටුනොත් කන්න බොන්නවත් දෙයක් නැතිව පිහිට වෙන්න කෙනෙක්වත් නැති උනොත් අපි මොනතරම් අසරණ වෙනවද? ඒ වගේ අන්ත අසරණ තත්වයක මහමඟ හිටපු පැටී දැන් අපේ වෙලා. එයාට දැන් දුවන්න පනින්න සෙල්ලම් කරන්න පුළුවන්. ඒ එක්කම එදා කන්න බොන්න නැතුව බඩගින්නේ දුක් විඳපු පැටීට අද ගෙදරක් හම්බෙලා… ආදරය සෙනෙහස ලැබිලා… ආදරණීය පවුලක් මුණ ගැහිලා… මේ හැමදේම ලැබුනේ ඔයාලා නිසයි.

මේක අපි හැමෝම සාමූහිකව කරපු සෙනෙහස පිරුණ බොහොම සුන්දර ව්යාපෘතියක්. අපේ පැටීට ආයෙත් සතුට ගේන්න ෆේස්බුක් යාළුවෝ හැමෝම එකතුවෙලා මේ සිදු කරා වූ කුසලයේ ආනුභාවයෙන් කිසිවෙකු හට කිසිදු ආකාරයක කාය චිත්ත පීඩාවක් නොම වේවා… නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. පැටී වෙනුවෙන් ආදරය සෙනෙහස දයාව දැක්වූ පිනෙන් ඔබ හැමටත් ඔබ හැම දෙනාගේම පවුල් වල සෑම දෙනාටනත් ආදරය සතුට සෙනෙහස රැකවරණය නිරතුරුවම ලැබෙන වාසනාවන්ත දිවියක් උදා වේවා… කරන කියන කටයුතු සියල්ලක්මද පතන පැතුම් සියල්ලක්මද ඒ අයුරින්ම ඉටු වේවා…. මතු හැම භවයකදීම අප්රමාණ වූ කුසල් රැස් කරගන්නටත්, නිර්වාණාවබෝධය පිණිසත් මේ සිදු කරගත්තාවූ කුසලය හේතු වේවා…

“බලාගන්න කෙනෙක් නැතුව අසරණ උන මං වෙනුවෙන් පිහිට උන ඔයාලා හැමෝටම ගොඩාක් පිං. අපි වගේ දුක් විඳින අය ඕනෑතරම් ඉන්නවා දුක කියන්න වරම් නෑ අපිට. නැන්දේ මාමේ ඒ අයටත් මට වගේම හැකි නම් පිහිට වෙන්න. අපි හැමෝටම ආදරය සෙනෙහස රැකවරණය ඕන. අපි වගේ තව අය ගෙවල් වල ආදරෙන් හැදෙද්දි මහ පාර උරුම උන අපිව ඒ දුකින් මුදව ගන්න එන ඔයාලා හැමෝම අපිට පේන්නෙ දෙවි දේවතාවුන් වගේ. ”

– මම ඔයාලගේ පුංචි පැටී…

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 01))

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 01))

බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට පැමිණියා. එදින ඇගේ විශේෂ ඉල්ලීමක් උනේ ඈ රැගෙන ආ අත්වාරු ගම්වල සිටින අසරණ වියපත් වැඩිහිටියන්ට පරිත්‍යාග කරන එක. එම අත්වාරු තවත් සුවිශේෂී ඒවා උනේ එහි දිග ප්‍රමාණය වැඩිහිටියන්ගේ උසට සරිලන පරිදි වෙනස් කරගැනීමට හැකි වීමයි.

මේ අත්වාරු රැගෙන සෙනෙහසේ චාරිකාව යන අතරමගදී අපට හමුවුනා බොහෝම අමාරුවෙන් දිරාපත් උන කෝටුවක ආධාරයෙන් ඇවිදින අත්තම්මා කෙනෙක්ව. මේ අත්තම්මගේ බර දරන් හිටපු කෝටුව තරමක් ඇද වී නැමී තිබුනේ අත්තම්මාගේ හිතේ බරත් එකතු වෙලා නිසා වෙන්න ඕන.

අත්තම්මා ළඟට ගිය අපි පරණ කෝටුව වෙනුවට අළුත් අත්වාරුව දුන්නම ඒ මූණේ පිරිලා තිබුනේ හරිම සිරියාවන්ත හිනාවක්. උසට ගැලපෙන විදිහට සකස් කරලා දුන්නම අත්තම්මා හරි ආසාවෙන් ඇවිදලා බැලුවේ. අත්වාරුව අතට අරන් ටිකක් ඇවිදලා අත්තම්මා අපිට කිව්වෙ “දැන් මට බය නෑ මේක කැඩෙයි කියලා, බයක් නැතුව ඇවිදින්න පුළුවනි” කියලා.

දර කෝටුවකින් වාරුව ගත්ත මේ අම්මට සවි ශක්තිමත් වාරුවක් ලබා දී මේ රැස් කරගත්තා වූ කුසලය නිර්වාණාවබෝධය පිණිස තවත් එක් වාරුවක් රුකුලක්ම වේවා…. ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටමත් කාය චිත්ත පීඩාවක් නොවේවා…. සියළු සිතුම් පැතුම් මෙන්ම කරන කියන කටයුතු සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන් උදා වේවා…. තව තවත් පින්දහම් සිදු කරන්නට සිත් පහළ වේවා…. ඊට අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුව නිරතුරුවම ලැබේවා….

අසරණ වූ පියෙකුට සරණක් වූ සිඟිති දියණිය

අසරණ වූ පියෙකුට සරණක් වූ සිඟිති දියණිය

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Amila Lakshika Perera අයියාගේ සහ Menaka Senevirathne අක්කගේ දයාබර දියණිය Nehara Perera දූ අද දින ඇගේ සත්වන උපන්දිනයට එළඹෙනවා. ඒ වෙනුවෙන් තම දියණියට ආශිර්වාද පතා අසරණ වූ අයෙකුට උපකාර කර අර්ථාන්විත ලෙස ඇගේ දියණියගේ උපන්දිනය සැමරීමට අමිල අයියාට අවශ්‍ය උනා.

ඔහුගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් බොහෝ අසරණ තත්වයට පත්ව සිටින පියෙකු වෙනුවෙන් වායු මෙට්ටයක් පරිත්‍යාග කරනු ලැබුවා. R Hemantha වන ඔහු සිඟිති පුතුන් දෙදෙනෙකුගේ දයාබර පියෙක්. ඔහු මීට වසර ගණනකට පෙර කරාබු ගසකින් වැටී කොඳුඇට පෙළට ඇති වූ බරපතල හානි හේතුවෙන් වසර 5 කට අධික කාලයක් එක්තැන් වී සිටිනවා. රජයෙන් ලබා දුන් රෝද පුටුවකුත් මීට පෙර ලැබුන ජලය කාන්දු වන වතුර මෙට්ටයකුත් පමණයි ඔහු සතු උනේ. අපි ලබා දුන් වායු මෙට්ටය ඔහුට මහත් අස්වැසිල්ලක් උනා. පරන මෙට්ටයෙන් නිතර ජලය කාන්දු වන නිසා බොහොම අපහසුවෙන් එය භාවිතා කර තිබුනේ. අප විසින් වායු මෙට්ටය සකස් කොට සියල්ල සූදානම් කරනු ලැබුවා. ඇඳ මත සිනහමුසු මුහුණින් සිටින ආකාරය දකින ඔබේ සිතත් සතුටින් පිරේවි ඔහුගේ හිතේ පිරී තියෙන සතුට ඒ සිනහවෙන් දකිනකොට.

ඔහුගේ සියළුම වැඩ කටයුතු තම දෑතින්ම ඉටු කරන ඔහුගේ දයාබර බිරිඳ තම දරුවන් දෙදෙනාගේද අධ්‍යාපන කටයුතු මැනවින් සොයාබලා ඉටු කරනවා. වැඩිමල් පුතු Wibodha මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අතර පුතුන් දෙදෙනාම පන්තියේ සෑම වාරයකම දෙවැනි තුන්වැනියන් වන බවත් මව කීවේ බොහෝම සතුටින්.

කටු මැටි ගෑ බිත්ති සතරක හිඳිමින් තම ස්වාමියාගේ ජීවිතය ජීවත් කරන්නට වෙර දරන මේ දයාබර බිරිඳ මෙන්ම දුක් ගැහැට හමුවේ වුවද ඉතාමත් හොඳින් අධ්‍යාපනය ලබන මේ දිරිය දරුවන් වැනි වූ අසරණකම තුළින් නැගිටින්නට වෙර දරන පිරිස් හට උපකාර කරන්න ලැබීමද මහත් භාග්‍යක්. ඔවුනට සරණක් වෙමින් මෙසේ උපකාර කරන්නට සිත් යොමු වූ Amila අයියාටත් Menaka අක්කාටත් අද දවසේ සත් වන වියට පා තබන ඇගේ සිඟිති දියණිටත් මේ සිදු කළා වූ කුසලයේ ආනිසංසය හේතු කොටගෙන කිසිදු ලෙඩක් දුකක් නොවේවා… නිරතුරුවම සතුට සැනසුම සෞභාග්‍යය නීරෝගී ලාභය වාසනාව උදා වේවා… කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… දියණියගේ අධ්‍යාපන කටයුතුද අනාගතයද දිනෙන් දින දියුණුවට පත්ව වාසනාවන්ත අනාගතයක් උදා වේවා…

දෙමාපියන්ට පිං පිණිස අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

දෙමාපියන්ට පිං පිණිස අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

එරන්දි, පන්ඩු, අශ්විනි, අරෝශ, උශාන් සහ ශානි කියන්නේ මාගේ මුහුණු පොතේ මිතුරු මිතුරියන්. මේ අය එකිනෙකාට කළණ මිතුරන්ද වෙනවා. මා එසේ කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ මේ මිතුරු පිරිස වෙන මිතුරු මිතුරියන්ටත් ආදර්ශයක් වන ලෙස තමාගේ ඇසුර පවත්වා ගෙන යනවා. ඔවුන් විනෝදාශ්වාදය පිණිස අනවශ්‍ය වියදම් සිදු නොකර ඒ වෙනුවට පිං කටයුතු වල තමාට හැකි අයුරින් නිරත වෙනවා. ඉතින් මේ කළණ මිතුරු පිරිසට ඕනි උනා තමන් මේ ලෝකයට ජනිත කල දැනට මෙලොවින් සදහටම සමුගත් තම තමන්ගේ දෙමාපියන්ට පිං ලබා දෙන්න කුසල ක්‍රියාවක් සිදු කරන්න. අද සමාජයේ දරුවන් තමන්ගේ දෙමාපියන්ට නොසලකා මහ පාරට ඇද දමන කාලයක මේ පිරිස සිදු කරන්න තීරණය කල ක්‍රියාව ඇත්තටම ආදර්ශයමත් ක්‍රියාවක්.අපේ හිතවතුන් ජීවත් වෙලා ඉද්දී කොයි තරම් දේවල් කරලා සලකන්න පුලුවන් උනත් ආදරය කරන්න පුලුවන් උනත් මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉන්න අපට කරන්න පුලුවන් එකම දේ ඒ මියගිය කෙනා වෙනුවෙන් පිං පමුනවන්න විතරයි. ඉතින් මේ පිරිසත් තම දෙමාපියන්ට පිං දීමට විශේෂ පිංකමක් සිදු කලා.

ඉතින් මම ඒ වෙනුවෙන් දුප්පත් රෝගී අත්තම්මා කෙනෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කලා. මේ අත්තම්මාගේ නම කරුණාවති. වයස අවුරුදු 80ක් පමණ වෙනවා. ඉන්නේ වෙලංහින්න, කහබිලිය කියන ගමේ. ගොඩාක් දුප්පත් පවුලක්. අත්තම්මාගේ දරු මුනුබුරන් එදිනෙදා කුලී වැඩ කරලා ජීවත් වන නිසා මේ අත්තම්මාට රෝද පුටුවක් අරන් දෙන්න පුලුවන් කමක් තිබිලා නෑ. දැනට අවුරුදු කිහිපයකට කලින් සිදු උන කොන්දේ ආබාධයක් නිසා තමයි අත්තම්මා මෙලෙස එක්තැන් වෙලා තියෙන්නේ. මේ අත්තම්මාගේ ඇස් දෙකත් පේන්නේ නෑ. ඇසේ සුද ඇවිත් ඇස් පෙනීම නැති වෙලා. හැබැයි අත්තම්මාගේ දරු මුනුබුරන් තමන්ට හැකි අයුරින් මේ අත්තම්මා රැක බලා ගන්න බව නම් අපට පෙනුනා. දුප්පත් අසරණ මේ අයට ලබා දුන් රෝද පුටුව ගැන පවුලේ අය ගොඩාක් සතුටු උනා. ඒ තම ආදරණීය මෑණියන් / මිත්තනිය එලියට රැගෙන එන්න පහසු වුන නිසා. ඒ අත්තම්මා වාගේම ඒ පවුලේ සියලුම දෙනාම ගොඩාක් පිං දුන්නා. ඔයාලා සියලුම දෙනා ඒ පිං වල හැබෑ අයිතිකරවන්. මෙලෙස තම මියගිය දෙමාපියන් සිහිකර පින් පමුනුවන්නේ ඔයාලා සිත් වල තියෙන හැබෑම ආදරය නිසායි. මේ ලැබුනු පින් ඔබ සැමගේ මිය පරලොව ගිය දෙමාපියන්ට අනුමෝදන් වේවා. ඔවුනට සැපවත් ජීවිත අත් වී ඇත්නම් ඒ සැප සම්පත් වැඩි වීමටත් දුක්‍ ඇති ආත්මයකන් ලැබි ඇත්නම් ඒ දුකින් අත්මිදෙන්නටත් මේ පිං හේතු වාසනා වේවා. තවද සසර වසනා තුරු මෙවන් ගුන ගරුක දරුවන් ලැබීමටත් මේ පින් හේතු වාසනා වේවා.

මේ සිදු කලා වූ කුසලයේ ආනුභාවයෙන් ඔබ සියලුම දෙනාගේ පවුල් ජීවිත ද සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකිවේවා. තව තවත් මෙවැනි අසරණ මිනිසුන්ට උදවු කිරීමට හැකි වේවා. තව තවත් මෙවැනි කළණ මිතුරු සම්පත් ඇති වේවා.