loader image
Select Page

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර පොදක් නොමැතිව දුක් විඳිනවා.

ගමේ ළිං තිබුණත් බීමට සුදුසු තත්වයක් නැහැ. කිලෝමීටර් 7-8ක් යන්න ඕන වතුර අරන් එන්න. ඒකත් බයික් හරි ත්‍රීවීලර් හරි තියෙන අය තමයි දුරින් වතුර ගේන්නේ. අනෙක් හැමෝම කරන්න දෙයක් නැති කමට ළිං වතුර බොනවා. වකුගඩු රෝගීන් ගොඩක් වාර්තා වෙලා තියෙනවා මේ ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශයට මාස 6ක් වහිනවා, මාස 6ක් පායනවා. චන්ද කාලෙටනම් දේශපාලනඥයින් වතුර අරන් එනවලු.

ඒ වගේම මේ ගමට තැපැල් පහසුකම් නැහැ. ලියුම් එන්නේ කිලෝමීටර් 7-8ක් දුරින් තියෙන වෙළඳසැලකටලු. ගමේ අය ඒ හන්දියේ වෙළඳසැලට යනවා ලියුම් තියේද බලන්න. ඒකත් හිතවත් අයට පමණලු ලියුම් භාරගන්නේ. එක බස් එකයි ගමටම තියෙන්නේ. 3 පාරක් දවසට ඒ බස් එක යනවා. පාසල් ළමයි පිරිලා යනවලු ඒකේ. උදේට සුදුගවුම ඇඳන් යන ළමයි ඉස්කෝලෙන් බහිනකොට ගවුම කහපාට වෙලාලු දූවිලි වලින් වැහිලා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, පොළිසියට, ආපදා කළමණාකරණ ඒකකයට සහ අනෙකුත් දැනුම් දියයුතු හැම තැනකටම මේ අය මාස ගණනක සිට ලිඛිතව දැනුම් දී තිබුණත් කාගෙවත් අවධානයට යොමුවෙලා නැහැ.

මේ දිනවල සියලුම ජල බව්සර් Enterprise Sri Lanka ප්‍රදර්ශනයට අන්යුක්ත කර ඇති නිසා ප්‍රදේශීය සභාවෙන් පවා අපට බවුසර් ලබාගැනීමට හැකියාවක් නැහැ. ඉතිං අපි වැල්ලවාය ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය මිළදීගෙන කුළියට ගත් ලීටර් 6000ක ජල බවුසර් මගින් වාර කිහිපයකට මේ ගම් වලට ජලය ලබාදීම අද උදෑසන ආරම්භ කලා.

අපට මේ පිළිබඳව දැනගන්න ලැබුණේ ඊයේ සවස. අපිට රජයට වගේ ව්‍යාපෘති වලට දීර්ඝ කාලයක් ගතවෙන්නේ නැහැ. මොකද මනුස්සකම පිරුණු හදවත් ඇති මිනිසුන් දහස් ගණනක් සමාජසත්කාර එක්ක එකතුවෙලා ඉන්නවා. ඉතිං අපි අද දවසේ ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් මේ පිංකම මෙලෙස ආරම්භ කලා.

ගමේ ගෙයක් ගෙයක් ගානේ අපි අද උදෑසන ඉඳන් ගියා. ඒ හැමෝම අපි එනකන් වතුර කෑන්, කළ තියාගෙන පාර අයිනෙට වෙලා හිටියා. එක් අයෙක්ට ජල ලීටර් 15-100 අතර ප්‍රමාණයක් ලබාදුන්නා. සමහර අයට තියෙන්නේ පොඩි කළයක් හෝ දෙකක් පමණයි. ඉතිං වැඩි වතුර ප්‍රමාණයක් ගන්න හැකියාවක් නැහැ ඒ අයට. මොනා වුනත් හැමෝම නොසෑහෙන්න පිං දුන්නා.

මේ පිංකමට මූල්‍ය දායකත්වය දැක්වූ හැමෝම අද උදෑසන ආරම්භ කල ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ ව්‍යාපෘතිය කුමක්ද කියා නොදැන. නමුත් මම දන්නවා ඔබ සම්බන්ධ වුණ මේ පිංකම ගැන ඔබ සතුටු වෙනවා කියලා.

ඔබ මේ සම්බන්ධ වුනේ ඉතා උතුම් වූ පිංකමකට, පැන් පූජාවකට. පිපාසය සංසිඳුවනවා කියන්නේ මහත් වූ ආනිසංස ගෙන දෙන පිංකමක්. සම්බන්ධ වූ ඔබට මෙය නිවන් අවබෝධය පිණිසම හේතුවාසනා වේවා. තෙරුවණ් සරණයි.

මේ පිංකමට සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasanga මල්ලිත්, වැල්ලවායෙන් සම්බන්ධීකරණ කටයුතු සඳහා ජගත් නිලන්ත මහතාත් සම්බන්ධ වුණා. ඔබ දෙපළටත් බොහොම පිං.

දෙවෙනි අදියරේදී අපි මේ අයට වතුර කෑන් සහ ජලය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න.

මතු සම්බන්ධයි…