loader image
Select Page

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District)

අද උදෑසන 11.30ට ප්‍රසාදි නංගිව Discharge කලා. මමයි, අයියයි, ගයත්‍රි නංගියි තමා උදේ බලන්න ගියේ. ඇය ගොඩක් සතුටෙන් ඉන්නේ. බලන්න හිනාව. එය සැබවින්ම ඔබේ දෑසට කඳුලක් එක් කරාවි.
ඇයට නැවත සති 3කින් රෝහලට එන්න කීවේ ඇගේ තත්වය පරීක්ෂා කර බලන්න. අපි එතෙක් අවශ්‍ය කරන සියලුම බෙහෙත්ද ෆාමසියෙන් අරන්දී ඇයව, ඇගේ දරුවා සහ මව සමඟ අපි ඔවුන්ගේ ගෙදර එන්න පිටත් වුණා.
ඉතිං මගේ වගකීම සියල්ල අවසන්. නැවත ඇය ගැන මා වාර්තා කිරීමක් සිදු කරන්නේ නැහැ. මට උදව් කල, ශක්තියක් වූ සැමට අනේක වාරයක් ස්තූතියි, පිං… මට වෙන කියන්න දෙයක් බැහැ. ඔබේ මනුස්සකම, සෙනෙහස සමහර විට මැයගේ නෑදෑයන්ටවත් නැතිව ඇති….

වැඩි දුරටත්…

ප්‍රසාදි නංගි ගැන මම දැනගත්තේ අගෝස්තු 9 වෙනිදා. රාජාංගනේ සද්ධාරතන හාමුදුරුවෝ තමා මට මේ ගැන කීවේ. මම ඇය පිළිබඳව ෆේස්බුක් එකේ විස්තර පලකල පසු මගේ ෆේස්බුක් යාලුවෝ පැය 10ක් ඇතුලත අවශ්‍ය මුදල් දෙන්න පොරොන්දු වුණා. මම මහ රෑම ඇයට කෝල් කරලා කීවා නංගි ඔයා බයවෙන්න එපා ඔයාගේ ඔපරේෂන් එක මම නියමිත දිනට කරනවා මම හෙට එනවා ඔයාව බලන්න කියලා. ඔක්කොම ව්‍යාපෘති නවත්වලා මම ඇයව බලන්න ගියා. මුලින්ම මම ඇයව ජය ශ්‍රී මහා බෝධියට එක්කරගෙන ගොස් ඇය ලව්ව අට පිරිකරක්, නිල් මානෙල් සහ සුදු නෙලුම් පූජා කෙරෙව්වා. මොන දේ කරන්නත් කලින් මං ඒ දේවල් කලේ ඇගේ පෙර අකුසල කර්ම යටපත් කරන්න ඕන නිසා. ඉන්පසු ඇයට මාසෙකට සෑහෙන්න බඩු මල්ලක් ලබා දුන්නා. ආපසු කොළඹ ඇවිත් මම සැත්කමට සූදානම් වුණා. කොපමණද කියනවානම් ඇගේ සැත්කම කරන දින කිහිපයේ දරුවාට ෆේස්බුක් මිතුරියන්ගේ උදව්වෙන් මව් කිරි දෙන්න පවා සූදානම් කරගත්තා. ඒ අතර අපි දරුවාට පිටි කිරි දෙන්න පුරුදු කලා. සැත්කමට සතියකට කලින් මම නැවත ඇයව බලන්න ගියා. ඒ යනකොට මාසෙකට සෑහෙන්න දරුවට කිරිපිටිත් අරන් ගියේ. සැත්කමට දින 3කට කලින් ඇයව රාගම ගෙනත් නැවැත්වූවා.

සැත්කම සිදුකරන්න ඇයව රෝහලට රැගෙන එන්න තිබුණේ අගෝස්තු 31වෙනිදා. මම උදෑසනම රාගමට ගොස් ඇයව, ඇගේ දරුවා, මව සහ ස්වාමිපුරුෂයා රැගෙන මම කොළඹ එන්න පිටත් වුණා. උදෑසන ආහාරයෙන් පසු ඇයව කැලණි පන්සලට එක්ක ගියා. ඒ අතරතුර ඇය ලව්ව පිංකම් රාශියක් කලා. ඉන්පසු දහවල් ආහාරය ලබාදිලා දහවල් 1ට ඇයව රෝහලට ඇතුලත් කලා. ඇයව සැත්කමට ගත්තේ රාත්‍රී 10.47ට. ඇය ඇතුලත් කල දින පටන් අද මේ මොහොත වෙනතුරු උදේ, දවල්, සවස සෑම අවස්ථාවකම මා පැමිණ ඇය ලඟ රැඳී සිට ඇය ගැන සොයා බැලුවා. සමහර අවස්ථාවලදී පවුලේ අය නොසිටියත්, ඔවුන් ඇයව බලාගත්තේ විවිධ අය දිනපතා මාරුවෙමින් වුනත් මා එසේ කලේ නැහැ. මාගේ වගකීම් මා නිසි ලෙස ඉටුකලේ මාවද රෝහල් ගතකර සේලයින් පවා ලබාදී තිබුණු අතරතුරයි. එපමණක් නොව ඇයව සවස බලා නැවත දියතලාව බලාගොස් රෑ 12 සිට 1 දක්වා කෙටි නින්දක් අරගෙන පාන්දර 1ට පිටත්වී උදෑසන 6.45ට ඇයව බලන්න කොළඹට පැමිණියා. නිවසේ අය ඇයව බලන්නට ආවේ උදේ 9.30ට. සැත්කම දවසේ මා උදෑසන 8සිට ඇයව CCU එකෙන් රැගෙන එන තෙක් රෝහලේ සිටි අතර නිවසේ අය පැමිණියේ ඇයව වාට්ටුවට ඇතුලත් කර දහවල් ආහාරයද ලබාදීමෙන් පසුව දහවල් 12.30ටය. මෙවැනි තත්ව ඇතිවුණද ඒ සිදුවීම අමතක කොට මා මාගේ යුතුකම්, වගකීම් නිසි ආකාරයට ඉටු කලේ මැය පිළිබඳව ෆේස්බුක් පෝස්ට් එක දැමු දවසේ පටන් Discharge කරන තෙක් මා ලඟින්ම සිටි මගේ කණ්ඩායමේ සාමාජිකාවක් වන ආසිරි රෝහලේ කාර්යමණ්ඩලයේ සේවය කරන ගයත්‍රි නංගීගේ සහයෙනි. ඇයද මා සමඟ Admission එකේ සිට Discharge කරන අවස්ථාව දක්වා සිටියා, උදව් කලා. ඇය නොසිටියානම් මට මේ ව්‍යාපෘතිය මෙලෙස ඉටුකරගන්නට ලැබෙන්නේ නැහැ.

මා ඇයට ලබාදුන් ටෙඩියා සමඟ මේ ආශිර්වාද ඇතුලත් සුභ පැතුම් පතක් ලබා දුන්නා…

“දයාබර ප්‍රසාදි නංගි,

ධනේෂ් මධුරංග අයියා හා සමාජ සත්කාර.lk සියලුම මිතුරු මිතුරියන් මුලින්ම ඔබට සුභ පතනවා . ඒ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හා සමාජ සත්කාර මිතුරු මිතුරියන්ගේ ආශිර්වාදයෙන් ඔබගේ සැත්කම සාර්ථක වීම නිසා.

අද දිනය ඔබට ඔබගේ දෙවැනි උපත සිදු වුවා සේ සලකන්න පුළුවන්. ඒ ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිතව ගත කල ඔබට අද දින සිට බලාපොරොත්තු සහිත ජිවිතයක් ගත කිරීමට හැකියාව ලැබුන නිසා. ඔබගේ දෙවැනි උපත සිදු වූවානම් ඒ සඳහා දායක වුයේ ලොවපුරා සිටින ෆේස්බුක් මිතුරු මිතුරියන්. ඔවුන් විවිධ ප්‍රදේශ වල විවිධ රටවල සමහර විට ගල්වලවල් වල වැඩකර , නිවාස වල මෙහෙකාර කම් කර, අවුකාෂ්ටකේ විවිධ දුෂ්කරතා මැද කරන තම රැකියාවෙන් උපයා ගන්න මුදලින් දායක වී ඔබගේ ජීවිතය ගොඩ ගන්නට පිහිට වුවා විය හැකියි. ඒ ඔවුන්ටද ප්‍රශ්න නැති නිසා නෙවෙයි. දුක් මහන්සියෙන් හම්බ කර ගත් ධනයෙන් කෙනෙක්ගේ ජීවිතය බේරා ගැනීමේ වටිනාකම මෙන්ම ඔවුන් හොදටම දුප්පත් කමින් අසරණ වෙන හැටි දන්නා නිසාය. ඉතින් ඔවුන් සියලු දෙනාම ඔබගේ දෙවැනි අම්මා, තාත්තා ලෙස ඔබ සලකුවාට කම් නැත.

අදින් අරඹන ජීවිතය ධර්මානුකුලව ගත කරන්න. නිතර පින් දහම් සිදු කරන්න. නැවත මෙවැනි අකුසලයන් ඉස්මතු වීම එමගින් යට කරන්න. හැකිනම් ඔබට උදවු කල අයටද පින් පමුනවන්න.

ඔබගේ ජීවිතය නිදුක් නිරෝගිව ගත කිරීමට අවශ්‍ය කටයුතු සැලසේවා යන්න සමාජ සත්කාර අපගේ එකම පැතුමයි.

තෙරුවන් සරණයි…”

ආගම්, ජාති බේදයකින් තොරව ඇයට උදව් කල, උදව් කරන්න පොරොන්දු වූ සහ සෙත් පතන සෑම ෆේස්බුක් මිතුරෙක්ටම පිං…