loader image
Select Page

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම | Project 01 – Heart Surgery (Anuradapura District)

ප්‍රසාදි නංගි ඔපරේෂන් එකට CCU එකට ගත්තේ ඊයේ රාත්‍රී 10.47ට. ඇයගේ සැත්කම රාත්‍රී 12.45 වෙනකොට අවසන් වෙලා. මට උදේ හොස්පිටල් එකෙන් කතා කරලා කීවා නංගිව බාරගන්න කෙනෙක් නැහැ මට එන්න කියලා. අපි සැත්කම වෙලාවේ නංගිගේ බබාටයි, අම්මටයි ඉන්න කාමරයක් රෝහලෙන්ම වෙන් කරලා දුන්නත් ඇය මධ්‍යම රාත්‍රීයේම මටත් දැනුම් නොදී බබත් එක්ක රාගම ගෙදර ගිහින්. මම උදේ පාන්දරම රෝහලට ගියේ CCU එකෙන් Ward එකට දානකොට ඇයව බාරගන්න කෙනෙක් නැති නිසා. උදේ 8 ඉඳන් මම එතන. මම යනකොටත් ගයත්‍රි නංගිත් ඇවිත්. නංගිව මට බාරදෙන්න බැහැ කීවා. මම ගොඩක් අසරණ වුණා. අනික අපේ කාමරයත් නැහැ ඊයේ අනික් අය රෑම ගිහින් නිසා. අලුත් කාමරයක් ලැබෙනකම් අපිට 10.30 වෙනකම් CCU එකේ එලියට වෙලා හිටියා. මගේ ඇස් කඳුළු වලින් පිරිලා දුකට සහ අසරණ කමට. මට බලන්න දුන්නේ නැහැ. ගයත්‍රි නංගි තමයි බලන්න ගියේ. පස්සේ රෝහලේ අය ඇයව පිරිසිදු කර කාමරයට යවන්න සූදානම් කලා. නමුත් ඊයේ මම ගෙනත් දුන්න බඩු මොනවත් තිබ්බේ නැහැ. ආයෙත් ගයත්‍රි නංගී එළියට ගිහින් කොන්ඩේ පීරන්න පනාවක් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත් දුන්නා.

ඉන්පසු ඇයව කාමරයට රැගෙන ගියා. මමයි, ගයත්‍රි නංගියි විතරයි. ගයත්‍රි නංගී ඇයට ඇපල් ජූස් ටිකක් පෙව්වා. ඇය එයට වැඩි කැමත්තක් දැක්වූවේ නැහැ. 11.30 වුණා. තවමත් ගෙදර අය නැහැ. අපි දෙන්නා දෙපැත්තේ පුටු දෙකක වාඩි වෙලා ඇය ලඟට වෙලා හිටියා. ඇය ටිකක් අපහසුවෙන් හිටියේ. මොකද ඊයේ උදේ ඉඳන් දරුවට කිරි දිලා නැහැ. ඒ නිසා ඇය කිරි තදවීම නිසා වේදනාවෙන් සිටියේ. ඒ මදිවට ඇගේ සැත්කම කල ස්ථානයෙන් රුධිරය වහනය වෙනවලු. ඒක ගැනත් කල්පනාවෙන් ඉන්න වුණා. අපිට කරන්න දේකුත් නෑ. ඇය දුර්වල වෙන්න කලින් අපි රෝහලෙන් ලබාදුන්න කෑම කැව්වා, සුප් එක පෙව්වා. ඇයට දරුවා මතක් වෙලා හයියෙන් අඬන්න ගත්තා. කිරි වලින් ඇගේ ඇඳගෙන හිටිය ඇඳුම තෙමෙන්න පටන්ගත්තා. ගයත්‍රි නංගියි, මායි ආයෙත් අසරණ වුණා. මං පොඩ්ඩක් එළියට වෙලා හිටියා ඇයව පිරිසිදු කරනකම්. ඇය ඉකිගසමින් නොනවත්වා හැඬුවා, ඇගෙන් කඳුළු වැටෙනකොට නොදැනුවත්වම මගේ දෑසිනුත් කඳුළු වැටුනේ ඇය මගේම නැගණියක් වගේ නිසා. අපි ඇයව සනසවමින් හිටියා. අපි කොහෙන් දරුවා ගෙනත් දෙන්නද, අම්මා ලඟනේ දරුවා. ඇය සහ නංගිගේ ස්වාමිපුරුෂයා එනකොට 12.30ත් පහුවෙලා. ආව ගමන් දරුවට කිරි පෙව්වා… ඉන්පසු තමයි නංගි යතා තත්වයට ඇවිත් මූණට හිනාවක් ආවේ…

මම ඇය සතුටු කරන්න තෑග්ගකුත් අරන් ආවා. ඒ තමයි සමාජසත්කාර කණ්ඩායමේ දස දහස් ගණනකගේ ආශිර්වාද කැටිවුන අදහස් පෙළක් සහිත සුභපැතුම් පතක් සහ ටෙඩියෙක්….
පහත තියෙන්නේ ඒ අදහස් පෙළ…

“දයාබර ප්‍රසාදි නංගි,

ධනේෂ් මධුරංග අයියා හා සමාජ සත්කාර.lk සියලුම මිතුරු මිතුරියන් මුලින්ම ඔබට සුභ පතනවා . ඒ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හා සමාජ සත්කාර මිතුරු මිතුරියන්ගේ ආශිර්වාදයෙන් ඔබගේ සැත්කම සාර්ථක වීම නිසා.

අද දිනය ඔබට ඔබගේ දෙවැනි උපත සිදු වුවා සේ සලකන්න පුළුවන්. ඒ ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිතව ගත කල ඔබට අද දින සිට බලාපොරොත්තු සහිත ජිවිතයක් ගත කිරීමට හැකියාව ලැබුන නිසා. ඔබගේ දෙවැනි උපත සිදු වූවානම් ඒ සඳහා දායක වුයේ ලොවපුරා සිටින ෆේස්බුක් මිතුරු මිතුරියන්. ඔවුන් විවිධ ප්‍රදේශ වල විවිධ රටවල සමහර විට ගල්වලවල් වල වැඩකර , නිවාස වල මෙහෙකාර කම් කර, අවුකාෂ්ටකේ විවිධ දුෂ්කරතා මැද කරන තම රැකියාවෙන් උපයා ගන්න මුදලින් දායක වී ඔබගේ ජීවිතය ගොඩ ගන්නට පිහිට වුවා විය හැකියි. ඒ ඔවුන්ටද ප්‍රශ්න නැති නිසා නෙවෙයි. දුක් මහන්සියෙන් හම්බ කර ගත් ධනයෙන් කෙනෙක්ගේ ජීවිතය බේරා ගැනීමේ වටිනාකම මෙන්ම ඔවුන් හොදටම දුප්පත් කමින් අසරණ වෙන හැටි දන්නා නිසාය. ඉතින් ඔවුන් සියලු දෙනාම ඔබගේ දෙවැනි අම්මා, තාත්තා ලෙස ඔබ සලකුවාට කම් නැත.

අදින් අරඹන ජීවිතය ධර්මානුකුලව ගත කරන්න. නිතර පින් දහම් සිදු කරන්න. නැවත මෙවැනි අකුසලයන් ඉස්මතු වීම එමගින් යට කරන්න. හැකිනම් ඔබට උදවු කල අයටද පින් පමුනවන්න.

ඔබගේ ජීවිතය නිදුක් නිරෝගිව ගත කිරීමට අවශ්‍ය කටයුතු සැලසේවා යන්න සමාජ සත්කාර අපගේ එකම පැතුමයි.

තෙරුවන් සරණයි…”

මමයි ගයත්‍රි නංගියි ඊට පස්සේ එළියට ගියේ මොනව හරි කාලා ඇයට සැන්ඩ්විච් එකක් සහ ඔරේන්ජ් ජූස් එකක් අරගෙන එන අදහසින්…. ප්‍රසාදි නංගි වගේම අපිත් ගොඩක් ශාරීරිකව දුර්වල වෙලා හිටියේ. මම ඊයේ නිදාගන්නකොට පාන්දර 2යි. නැවත පාන්දර 5 ඉඳන් නැගිටලා. මොනව වුනත් ඇය හොඳින්නේ, ඒ ඇති මට මොනව වුනත්…

මතු සම්බන්ධයි…

ආගම්, ජාති බේදයකින් තොරව ඇයට උදව් කල, උදව් කරන්න පොරොන්දු වූ සහ සෙත් පතන සෑම ෆේස්බුක් මිතුරෙක්ටම පිං…