loader image
Select Page

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා (අවුරුදු 1 1/2) තව මේ ගෙදර දුලනි මහත්මියගේ අම්මා, තාත්තා සහ පුංචිද ජීවත් වෙනවා. හැමොම ජීවත්වෙන්නේ මහත්තයා දැනට කුලීවැඩ කරලා හම්බ කරන එකෙන්. තාත්තටත් සීනි හැදිලා ඉන්නේ.

ගොඩක් අසරණ පවුලක්. ඇය හැකි වෙලාවට අසල මැෂිමක් තියෙන ගෙදරකට ගිහින් ඒකෙන් රෙදි මහලා විකුණනවා. ඒත් ඉතිං හැමදාම එහෙම කරනවට පිට ගෙවල් වල මිනිස්සු කැමති නෑනේ. ඉතිං අපි ඇයට මැෂිමක් දෙන්නම් කීවහම ඇයගේ ඇස් වලින් කඳුලු වැටුනා සතුටට.

ඉතිං අපි ඇයට පසුගිය දිනක මහන මැෂිමක් පරිත්‍යාග කලා. කිලෝමීටර් ගාණක් අති දුෂ්කර පාරක ගම ඇතුලට යන්න ඕන මේ අයගේ ගෙදරට. ඇයත් පවුලේ සියලුම දෙනාත් නොසෑහෙන්න සතුටු වුණා. මේ පරිත්‍යාග සිදුකල මිතුරාට ඇය බෙහෙවින් පිං දුන්නා. අපි ඔහුගේ ඡායාරූපයක්ද ඔවුන්ට පෙන්වූවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති.

දැන් ඇයට කාටවත්ම අතපාන්න ඕන නැහැ. ඇයටම ගෙදර ඉඳන් රෙදි මහලා විකුණන්න පුලුවන්. ඒ ආදායමෙන් පවුල නඩත්තු කරන්න පුලුවන්. අසරණ මනුස්සයෙක්ට කෑමට දෙයක් දෙනවට වඩා වටිනවා තමන්ගේ මහන්සියෙන් නැගී සිටින්න ක්‍රමයක් හදලා දෙන එක.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…