loader image
Select Page

මේ ඉන්නේ ඕ.ආර්. රංජිත් (45) මහතා. අවුරුදු 10කට කලින් කකුල් පණ නැතිවෙලා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මයන්ත (13), සචින්ත් (8), නෙතුම් (4). බිරිඳ විමලා රත්නායක (38). අලුපොත, කඩේවත්ත, නිවිතිගල ලිපිනයේ ඉන්නේ. නෙතුම් පුතා අපි කලින් පාර යනකොටනම් හිටියා. මේ පාර යනකොට පුතාව ශාසනයට පූජා කරලා මහන කරන්න.

ගොඩක් අසරණ පවුලක්. ඉන්න හිටින්නවත් හරි හමන් තැනක් නැහැ. බොහොම අමාරුවෙන් දරුවන්ගේ අම්මා තේ දළු නෙළලා, තාත්තා හඳුන්කූරු හදලා විකුණලා ජීවත් වෙන්නේ. අපි මාස 1 1/2කට කලින් මේ අයව බලන්න ගියහම රෝද පුටුවක් දෙන්න තීරණය කලා. අපිට මාසයක කාලයක් ගියා ඔහුට ස්වයංරැකියාවක් කිරීමට අවශ්‍ය විදිහේ රෝද 3ක රෝද පුටුවක් විශේෂයෙන්ම නිර්මාණය කරන්න. අපි ඉදිරියේදී මොවුන්ට හඳුන්කූරු නිෂ්පාදනය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට එයට සම්බන්ධ වෙන්න පුලුවන්.

පසුගිය දිනක අපි කොළඹ ඉඳන් නිවිතිගලට ලොරියක මේ රෝද පුටුව අරන් ගියා. විකුම් මිතුරා මට සහය වුණා මේ පවුල සොයාගෙන යන්න.

මේ සඳහා දායකත්වය දැක්වූයේ Dinesha Paranagama අක්කා සහ ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා Rangika Somarathna අයියා.

මේ රෝද පුටුව පරිත්‍යාගය කරන්න විශේෂ වූ හේතු කිහිපයක් තිබ්බා. ඒ කලකට ඉහතදී මියගියා වූ බන්දුල සෝමරත්න පියාණන්ට හා පවුලේ මියපරලොව ගියා වූ සියලුම නෑදෑ හිතවතුන්ට පිං පැමිණවීම. ඉතින් ඒ කලා වූ කුසලය ඔබගේ පියාණන්ට හා ඔබ නමින් මිය පරලොව ගියා වූ නෑදෑ හිතමිත්‍රාදීන්ටත් අනුමෝදන් වි දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත් සැප ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැප සම්පත් වැඩි දියුණු වීමටත් හේතූ වාසනා වේවා.

ඒ වගේම අගෝස්තු 17වන දින උපන් දිනය සමරන Anudhi Somarathne පුංචි දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඇයට නිදුක් නීරෝගී සැපවත් ජීවිතයක් අත් වේවා. ඇයගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ඇයට යම් ග්‍රහ අපල ඇත්නම් ඒවා දුරු වේවා. අවසාන වශයෙන් ඔබ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වි දුකින් තොර සැපවත් ජීවිත අත් වීමටද සසර අවසානයේ අමා මහ නිවන් සුව අත් වීමටද හේතු වාසනා වේවා.

මාස 2කට ඉහතදී අපගේ සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ලැබුණු ඇමතුමකට ප්‍රතිචාර ලෙසට තමයි අපි මේ පවුල සොයාගෙන ගියේ.

Location : නිවිතිගල , රත්නපුර දිස්ත්‍රික්කය