loader image
Select Page
ප්‍රාථමික පාසලක පොඩ්ඩන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Thilini Nimanka Perera

ප්‍රාථමික පාසලක පොඩ්ඩන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Thilini Nimanka Perera

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි.

මෙම පාසලට පැවති මූලික ගැටලුවක් වූයේ දරුවන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොතිබීමයි. අද දිනයේදී සමාජසත්කාර කණ්ඩායමේ සහභාගීත්වයෙන් තිළිණි නිමන්කා අක්කාගේ දායකත්වයෙන් පාසලට අවශ්‍ය ලීටර් 1000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකියක් සහ අවශ්‍ය අනෙකුත් උපාංග පරිත්‍යාග කිරීම සිදුකලා.

පාසල පිහිටා තිබෙන්නේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් 3ක් පමණ දුරින් ඉතා දුෂ්කර ප්‍රදේශයකය. පාසල පිහිටියේ කුඩා කඳු ගැටයක් මත වන අතර මීටර් 250ක් පමණ මාර්ගයේ සිට උඩට පඩිපෙළක් නැඟ පාසලට පැමිණිය යුතුය. දෙමාපියන් කිහිපදෙනෙක් වතුර ටැංකිය පහල සිට උඩට ගෙන ඒමට සහය වූවා.

මූලික අවශ්‍යතාවයක් වූ මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට අප මූලිකත්වය ගෙන කටයුතු කිරීම ගැන විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයද, දෙමාපියන්ද පිං දුන්නා. පොඩ්ඩන්ට සහ විදුහල්පතිතුමාට මා අක්කාගේ ඡායාරූපයක් පෙන්වූ අතර වයිබර් ඇමතුමක් හරහා කතා කරන්නද අවස්ථාව සලසා දුන්නා. විදුහල්පතිතුමා තිළිණි අක්කාට අනේකවාරයක් පිං දුන්නා.

ඔයාට ගොඩක් පිං අක්කා…
ඔබ මේ කලා වූ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටද හේතු වාසනා වේවා. තෙරුවණ් සරණයි !

මේ සඳහා උදව් කල රුවන් මල්ලීටද ගොඩක් පිං…

පාසල : රත්නපුර, නිවිතිගල ශ්‍රී සද්ධානන්ද විද්‍යාලය
ව්‍යාපෘති දිනය : 2017 ජනවාරි 03
Project Code : 2017-R-0001
Donor : තිළිණි නිමංකා

Hirosha Nakandala මිතුරාගේ බිරිඳට සෙත්පතා ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කිරීම

Hirosha Nakandala මිතුරාගේ බිරිඳට සෙත්පතා ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කිරීම

හිරෝෂ අයියාගේ ආදරණීය බිරිඳ සුභාෂිණි නාකන්දල අක්කාට සෙත්පතා අයියා මගෙන් ඉල්ලා සිටියා අඩුපහසුකම් සහිත පන්සලකට වතුර ටැංකියක් පූජා කරන්න කියා. පසුගිය දවස් කිහිපයේම අපි ඒ සඳහා සුදුසු පන්සල් සෙව්වත් ලැබුණේ නැහැ. ඉතිං අද අපි ඒ වෙනුවෙන්ම දියතලාව සිට කිලෝමීටර් 156* ක් මග ගෙවාගෙන මොණරාගලට ගියා. මග දෙපස පන්සල් සොයමින් යන අතරතුර අපට මේ ථේරපුත්තාභය ආරාණ්‍යය ඇස ගැටුණා.

මේ ආරණ්‍යය පිහිටා තිබෙන්නේ කුඹුක්කන, කලවැල්ආරගම. ඉතාමත් මනරම් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන්නේ. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 2ක් පමණ ඇතුලට ගොස් ඉන්පසු තවත් මීටර් 400ක් පමණ කැලේ ඇතුලට යන්න ඕන. පඩි 100ක් පමණ කන්ද මුදුනට නගින්න ඕන. ඉතාමත් අඩු පහසුකම් සහිත ආරණ්‍යයක්. ස්වාමීන්වහන්සේලා 3 දෙනෙක් වැඩ සිටිනවා. ඉතාමත් සිල්වත් ස්වාමීන්වහන්සේලාලු. මස් මාංශවත් වළඳන්නේ නැහැලු. අපි මුලින්ම උන්වහන්සේගෙන් විමසා සිටියා ජල ටැංකියක අවශ්‍යතාවය තියේද කියලා. දැනට ජල ටැංකියක් නැති නිසා සමිතියෙන් ටැංකියක් ඉල්ලගෙනලු පාවිච්චි කරන්නේ. ඉන්පසු නැවතත් අපි පහලට ඇවිත් ටවුන් එකෙන් ලොරියක් හයර් කරගෙන ටැංකියක් අරගෙන ආවේ අසල හාර්වෙයාර් නොමැති නිසා.

අපි ස්වාමීන්වහන්සේට පැවසුවා සුභාෂිණි අක්කා දැනට දරුවෙක් ලැබෙන්න ඉන්නේ ඒ වෙනුවෙන් ආශිර්වාද පතා තමයි හිරෝෂ අයියා මේ පිංකම කරන්නේ කියලා.

උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. මෙය දිවා රෑ පිං වැඩෙන පිංකමක් සහ එමගින් මේ ආරණ්‍යයට සැලසෙන සෙත ගැනද ජල බිඳුවක් බිඳුවක් ගානේ පිං ලැබෙනවා කියලත් උන්වහන්සේ දේශනා කලා.

ඔබ මේ කරගත්තාවූ කුසල කර්මයේ හේතුවෙන් අක්කාට නීරෝගී දරු සම්පත් හිමිවේවා. මේ පින නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…

තෙරුවණ් සරණයි…

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා

අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි සුචින්තාරාම ආරණ්‍යයට ජල ටැංකියක් පූජා කලා. මෙහෙණින් වහන්සේ අපිට කීවා මෙය කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති ඉතා දුෂ්කර ආරාමයක් කියලා.

අපි අත්තම්මා සහ සීයා ගැන මෙහෙණින් වහන්සේට කීවා. මෙහෙණින් වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. මං මේ පිංකමට දායකත්වය දැක්වූයේ ඔයා කියලත් පෙන්වූවා.

ටැංකිය ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරිවුණා. අපි ඉන්පසුව ත්‍රීවීලර් එකක් හයර් කලා.

කදුරුවෙල – මහියංගනය පාරේ දිඹුලාගල, පැලෑටියාව ගමේ තමයි මේ මෙහෙණි ආරාමය පිහිටලා තියෙන්නේ. හැකි අය 0275622756 අංකයෙන් මෑණියන් සමඟ කතාබස් කර උදව්ව කරන්න.

මිණිබිරියක් ලෙස ඔබ මේ සිදුකලා වූ උතුම් පිංකම ගොඩක් අගයනවා අක්කා…

ඔබ මේ කල කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පරලෝ සැපත් අත්තම්මා, ලීලා ලියනගේ මහත්මිය සහ සීයා, ජෝන් ලියනගේ මහතා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි
මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය පන්සලට ලීටර් 500 ජල ටැංකි 2ක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පළවෙනි වතාව කියලා මේ කෙනෙක් පිටින් ඇවිත් උදව් කලේ කියලා. ගොඩක් අඩු පහසුකම් සහිත පන්සලක්.

ලොකු අම්මාගේ අභාවය ගැන අපි උන්වහන්සේට කීවා. ඒත් එක්කම අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට පෙන්වූවා, ඔයාගේ අවශ්‍යතාවයත් උන්වහන්සේට මතක් කලා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා.

පරලෝ සැපත් ඩී.ජී. පත්මිණී මහත්මිය දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

Menaka Ranmal Vidanapathirana මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

Menaka Ranmal Vidanapathirana මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

පසුගිය ඔක්තෝම්බර් 11 වෙනිදා මේනක මිතුරාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් අද අපි මරදන්කඩවල පුරාණ එක්සත් බෝධිරාජාරාමය පන්සලට ලීටර් 1000 ජල ටැංකියක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පන්සලට තිබුණ ලොකුම ප්‍රශ්නයක් කියලා ජල ටැංකියක අවශ්‍යතාවය. අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට පෙන්වූවා, ඔයාගේ උපන්දිනය වෙනුවෙන් කල පිංකමක් කියලා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. කඨින පිංකම් සිදුකරන කාලයේ ඔබ මේ කරගත්තේ උතුම් පිංකමක් කියලා උන්වහන්සේ මතක් කලා. අයියටයි මටයි පිරිත් නූලක් බැඳලා ආශිර්වාද කලා.

ඔබ මේ කරගත්තාවූ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…
තෙරුවණ් සරණයි…

සුභ උපන්දිනයක් මේනක අයියේ…

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ නැහැ. ඉන්පසු හික්කඩුවෙන් අපි ලෑන්ඩ් මාස්ටර් එකක තමා ටැංකිය ගෙනවේ. දූපතට අරන් ගියේ බෝට්ටුවෙන්. එතැන් පටන් ආරණ්‍යයට දිනේෂ් එය ඔසවගෙන ගියා. ස්වාමීන්වහන්සේ බොහොමත්ම පිං දුන්නා මේ පුණ්‍යකර්මය පිළිබඳව.
දායකත්වය දැක්වූ සැමටම මේ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…
Hemal Matarage අයියත්, Dinesh Kumaraත් අද මේ පිංකමට ශ්‍රමයෙන් දායක වුණා…. ඔබ දෙපලටත් බොහොම පිං.