loader image
Select Page

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන අවදි වූ අප වහා සුදානම් වී පිටත් උනා. අවශ්‍ය වේලවටම අපගේ කණ්ඩායම නියෝජනය කරමින් Shalika N Digoarachchi, Buddi Weerakoon, Mandodhari Ramanayake, Isuru Sri Bandara, Danushka Pathirana, Dhanushka Rangana, Lahiru Darshana, Chathura Sanjeewa යන සොයුරු සොයුරියන් එතැනට පැමිණියා.

කණ්ඩායමේ හැමෝගේම සහයෝගයෙන් පූර්ව සූදානම් කටයුතු සියල්ලක්ම ඉතාමත් ඉක්මනින් අවසන් කරන්නට අපට හැකි උනා. පසුව සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ලේ දන් දීමට පැමිණෙන පිරිස් සමාජසත්කාර කණ්ඩායම විසින් ලියාපදිංචි කළ අතර ලේ දුන් පසු සහතික පත් ද ලබා දුන්නා. ලේ ලබා දුන් සෑම අයෙකුටම ආහාර වේලක් ද ලබා දුන්නා. පවුලේ කෙනෙක් මෙන් ඔවුනට සමීප වන්නට තරම් අපගේ කණ්ඩායමේ හැම කෙනෙක්ම බොහෝමත්ම සෙනෙහෙබර උනා.

කිසිදු තිළිණයක් බලාපොරොත්තු නොවී යන එන ගමන් ලේ ටිකක් දීලා යන්න ගොඩවැදුන මේ හිත් හරි සුන්දරයි. ඇතැම් අම්මලා තාත්තලා ලේ දෙන්න ගිය වග දරුවෝ දන්නේ කෝල් කරලා ඉන්නෙ කොහෙද ඇහුවම. මහළු තරුණ වයස් භේදයකින් තොරව හැම කෙනෙක්ම වගේ ලේ දෙන්න ආසාවෙන් එතනට ආවා. ලෝබ නැතුව ඇඟ පුරා දුවන ලේ වලින් ටිකක් මෙහෙම දීලා යන්න තරම් ශක්තිමත් හිත් ගොඩක් අපට ඊයේ මුණගැහුණා.

ලේ ලබා දුන් සැමටම මෙන්ම රෝහල් කාර්‍ය මණ්ඩලය වෙනුවෙනුත් රසවත් ආහාර වේලක් අපි ලබා දුන්නා. අපගේ කණ්ඩායමේ සුහදශීලී බව මෙන්ම සෙනෙහෙබර බව නිසාම ලේ දන් දුන් හැම කෙනෙක්ම ආපසු යද්දි ගිහින් එන්නම් කියලා යන්න නම් අමතක කලේ නෑ.

පැයක් වෙනුවෙන් හෝ බලාපොරොත්තු පිරි දෑසින් බලා සිටින ජීවිතය අයදින ඔවුන් වෙනුවෙන් සිදු කෙරෙන මෙම උතුම් කටයුත්ත සඳහා සහයෝගය මෙන්ම දායකත්වය ලබා දුන් ඔබ සැමටම අප බොහෝමත්ම ස්තූතිවන්ත වනවා.