loader image
Select Page

එරන්දි, පන්ඩු, අශ්විනි, අරෝශ, උශාන් සහ ශානි කියන්නේ මාගේ මුහුණු පොතේ මිතුරු මිතුරියන්. මේ අය එකිනෙකාට කළණ මිතුරන්ද වෙනවා. මා එසේ කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ මේ මිතුරු පිරිස වෙන මිතුරු මිතුරියන්ටත් ආදර්ශයක් වන ලෙස තමාගේ ඇසුර පවත්වා ගෙන යනවා. ඔවුන් විනෝදාශ්වාදය පිණිස අනවශ්‍ය වියදම් සිදු නොකර ඒ වෙනුවට පිං කටයුතු වල තමාට හැකි අයුරින් නිරත වෙනවා. ඉතින් මේ කළණ මිතුරු පිරිසට ඕනි උනා තමන් මේ ලෝකයට ජනිත කල දැනට මෙලොවින් සදහටම සමුගත් තම තමන්ගේ දෙමාපියන්ට පිං ලබා දෙන්න කුසල ක්‍රියාවක් සිදු කරන්න. අද සමාජයේ දරුවන් තමන්ගේ දෙමාපියන්ට නොසලකා මහ පාරට ඇද දමන කාලයක මේ පිරිස සිදු කරන්න තීරණය කල ක්‍රියාව ඇත්තටම ආදර්ශයමත් ක්‍රියාවක්.අපේ හිතවතුන් ජීවත් වෙලා ඉද්දී කොයි තරම් දේවල් කරලා සලකන්න පුලුවන් උනත් ආදරය කරන්න පුලුවන් උනත් මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉන්න අපට කරන්න පුලුවන් එකම දේ ඒ මියගිය කෙනා වෙනුවෙන් පිං පමුනවන්න විතරයි. ඉතින් මේ පිරිසත් තම දෙමාපියන්ට පිං දීමට විශේෂ පිංකමක් සිදු කලා.

ඉතින් මම ඒ වෙනුවෙන් දුප්පත් රෝගී අත්තම්මා කෙනෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කලා. මේ අත්තම්මාගේ නම කරුණාවති. වයස අවුරුදු 80ක් පමණ වෙනවා. ඉන්නේ වෙලංහින්න, කහබිලිය කියන ගමේ. ගොඩාක් දුප්පත් පවුලක්. අත්තම්මාගේ දරු මුනුබුරන් එදිනෙදා කුලී වැඩ කරලා ජීවත් වන නිසා මේ අත්තම්මාට රෝද පුටුවක් අරන් දෙන්න පුලුවන් කමක් තිබිලා නෑ. දැනට අවුරුදු කිහිපයකට කලින් සිදු උන කොන්දේ ආබාධයක් නිසා තමයි අත්තම්මා මෙලෙස එක්තැන් වෙලා තියෙන්නේ. මේ අත්තම්මාගේ ඇස් දෙකත් පේන්නේ නෑ. ඇසේ සුද ඇවිත් ඇස් පෙනීම නැති වෙලා. හැබැයි අත්තම්මාගේ දරු මුනුබුරන් තමන්ට හැකි අයුරින් මේ අත්තම්මා රැක බලා ගන්න බව නම් අපට පෙනුනා. දුප්පත් අසරණ මේ අයට ලබා දුන් රෝද පුටුව ගැන පවුලේ අය ගොඩාක් සතුටු උනා. ඒ තම ආදරණීය මෑණියන් / මිත්තනිය එලියට රැගෙන එන්න පහසු වුන නිසා. ඒ අත්තම්මා වාගේම ඒ පවුලේ සියලුම දෙනාම ගොඩාක් පිං දුන්නා. ඔයාලා සියලුම දෙනා ඒ පිං වල හැබෑ අයිතිකරවන්. මෙලෙස තම මියගිය දෙමාපියන් සිහිකර පින් පමුනුවන්නේ ඔයාලා සිත් වල තියෙන හැබෑම ආදරය නිසායි. මේ ලැබුනු පින් ඔබ සැමගේ මිය පරලොව ගිය දෙමාපියන්ට අනුමෝදන් වේවා. ඔවුනට සැපවත් ජීවිත අත් වී ඇත්නම් ඒ සැප සම්පත් වැඩි වීමටත් දුක්‍ ඇති ආත්මයකන් ලැබි ඇත්නම් ඒ දුකින් අත්මිදෙන්නටත් මේ පිං හේතු වාසනා වේවා. තවද සසර වසනා තුරු මෙවන් ගුන ගරුක දරුවන් ලැබීමටත් මේ පින් හේතු වාසනා වේවා.

මේ සිදු කලා වූ කුසලයේ ආනුභාවයෙන් ඔබ සියලුම දෙනාගේ පවුල් ජීවිත ද සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකිවේවා. තව තවත් මෙවැනි අසරණ මිනිසුන්ට උදවු කිරීමට හැකි වේවා. තව තවත් මෙවැනි කළණ මිතුරු සම්පත් ඇති වේවා.